අසමත් නොවන අධ්‍යාපනයක් නව ක්‍රමයෙන් දරුවන්ට ලැබෙනවා – අගමැති හරිනි අමරසූරිය

පළමු ශ්‍රේණියෙන් පාසලට ඇතුළත් වන දරුවන්ට නව අධ්‍යාපන ක්‍රමය මඟින් තිළිණ කරන්නේ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක් බවත් ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කිරීමේ වගකීම රජය භාර ගන්නා බවත්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති, අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

අතුරුගිරිය බප/ජය/ ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ ඊයේ (29) පැවැති 2026 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ජාතික වැඩසටහන අමතමින් අගමැතිවරිය මෙසේ සඳහන් කළාය.

5.2 1 Iri News

එහිදී අගමැතිවරිය සිසු සිසුවියන් සමඟ පාසල් භූමිය තුළ මී පැළයක් රෝපණය කළ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නවීකරණය වූ පළමු ශ්‍රේණි පන්ති කාමර නිරීක්ෂණය කරමින් සිසු සිසුවියන් සමඟ සුහද කතාබහකද නිරත වූවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිවයින පුරා පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීම සංකේතවත් කරමින් අගමැතිවරිය විසින් අතුරුගිරිය බප/ජය/ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් ලියාපදිංචි කිරීමේ ලේඛනයට පළමු වසරේ සිසුන්ගේ නම් ඇතුළත් කිරීම සිදු කළ අතර අනතුරුව පාසල් නිල ඇඳුම් සහ විෂයානුබද්ධ ක්‍රියාකාරකම් පොත් එම සිසුන්ට ලබාදීමද සිදු කළාය.

අගමැතිවරිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.

සියලු ගුණධර්මයන්ගෙන් සහ සහකම්පනයකින් සමන්විත අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික අඩිතාලම අදින් ඇරඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළින් ලැබෙනවා. සෑම දරුවකුටම පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක් ලබා දීමේ බැරෑරුම් වගකීම අප රජයක් ලෙස සතුටින් භාරගන්නවා.

රටේ දරුවන් සතුටින් පාසල වෙත පියමන් කිරීම දැකගත හැකි වන සේ පොත් බෑගයේ බර අඩු කර, පීඩනයෙන් තොර වූ ඉගෙනුම් වටපිටාවක් සැකසීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙහි දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක්, ප්‍රියමනාප පාසල් පරිසරයක් ඇති කිරීම සඳහා “සිහින පාසලක්” සඳහා වූ සැලසුම් යථාර්ථයක් කිරීමට අපි කැප වෙනවා.

එසේම 2026 වසරේදී හය ශ්‍රේණියේ සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියේදී එම දරුවන්ට ලබා දීමට සැලසුම් සකස් කරමින් සිටිනවා. 2027 වර්ෂයේදී හය ශ්‍රේණියේ සිට මොඩියුල අධ්‍යාපන ක්‍රමය වසරින් වසර ඇති කිරීමට කටයුතු සැලසුම් කරමින් තිබෙනවා.

නව ප්‍රතිසංස්කරණ තුළින් තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය ක්ෂේත්‍රයන් සඳහා පදනම ගොඩනැ‍ඟීමත්, විද්‍යා මූලධර්ම මුල් කරගනිමින් පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් කිරීමත්, ඉංග්‍රීසි හා දෙවැනි භාෂාව ඉගැන්වීමේ සංවර්ධන කටයුතු සිදු කිරීමත් ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වී තිබෙනවා.

දශක ගණනාවක් පුරාවටම අප හුරුවී සිටියේ පොතේ පතේ දැනුම පමණක් ලබා දෙන තරගකාරී අධ්‍යාපන රටාවකටයි. එම ක්‍රමය තුළින් දරුවන් අධ්‍යාපනයෙන් ඉවත්වීමට ඇති ප්‍රවණතාව වැඩි වන අතර එබැවින් අප රජයේ දෙවුර මත වැටී ඇති සෑම දරුවකුගේම අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ වගකීම කිසිසේත්ම අත්හැරිය නොහැකියි.

ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට අප කටයුතු කරනවා. අප මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පරිවර්තනීය වෙනසක් ලෙස හඳුන්වන්නේ විෂයමාලාවන් පමණක්ම නොව සමස්ත අධ්‍යාපන පද්ධතියේම සිදුකරන වෙනසක් නිසයි.

පරිවර්තනීය ක්‍රියාවලිය තුළ දරුවන්ගේ මානසික නිදහස සුරැකීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එහි දී සමබර පෞරුෂයකින් යුත් අනාගත පුරවැසියකු ලොවට දායාද කිරීම අපේ අරමුණ වෙනවා.

අකුරු පමණක් නොව ජීවිතය සම්බන්ධවද දරුවන්ට උගන්වන ගුරු භවතුන්ගේ වෘත්තීයභාවය ආරක්ෂා කිරීමටත්, හැකියාවන් දියුණු කරන්නත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සැලසුම් සකස් කරනවා.

මවුපියන්ගේ මුදල් පසුම්බිය මත දරුවාගේ අධ්‍යාපනය තීරණය වීමට අප කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම රජයක් ලෙස අප භාරගෙන ඇති බව විශ්වාසයෙන් ඔබට කියන්න කැමැතියි.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලීන් හේවගේ, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හසිත නිරෝෂණ, කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, අතුරුගිරිය ගුණසේකර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනී නදීකා ධර්මදාස ඇතුළු මහත්ම, මහත්මීන්, අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ බලධාරීන් සහ මවුපියන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *