සිරිමාවෝ විදුහල්පතිනිය පිහිනුම් සංචිතයේ දරුවන්ව පාසලෙන් දොට්ට දමයි

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පිහිනුම් සංචිතයේ සිසුවියන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විදුහල්පතිනිය විසින් ඉතා පහත් අන්දමින් සැලකූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සිද්ධියේ පසුබිම

පසුගිය 24 වැනිදා උදෑසන 8 ට පමණ මෙම පිරිස පාසල වෙත පැමිණ ඇත්තේ පසුදින පැවැත්වීමට නියමිතව තිබූ ‘සමස්ත ලංකා රිලේ කානිවල්’ පිහිනුම් තරඟාවලිය සඳහා අවසාන පුහුණුවීම්වලට සහභාගී වීමටයි. සිසුවියන් සමඟ පිහිනුම් අංගන කළමනාකාරවරිය සහ ප්‍රධාන පුහුණුකරු ද පැමිණ සිටියද, පාසලේ ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට ඇතුළු වීමට ඉඩ ලබා දී නැත.

විදුහල්පතිනිය තමන්ව ඒ පිළිබඳ දැනුවත් කර නොමැති බව පවසමින් ආරක්ෂක අංශ ඔවුන්ව ගේට්ටුව අසල රඳවා තබා ඇත.

දුරකථන ඇමතුමට විදුහල්පතිනියගෙන් බැණ වැදීම්

තත්ත්වය පැහැදිලි කිරීමට දෙමාපියන් විදුහල්පතිනියට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, එහිදී ඇය ඉතා අශෝභන ලෙස දෙමාපියන්ට බැණ වැදී දෝෂාරෝපණය කර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.

ඇය විසින් පනවා ඇති නව නීති රීතිවලට අනුව, ක්‍රීඩා භාර ගුරුවරිය විසින් විදුහල්පතිනියගෙන් ලිඛිත අවසරයක් ලබාගෙන නොමැති බැවින්, එම ගුරුවරිය පැමිණෙන තෙක් කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොදෙන බවට ඇය තර්ජනාත්මකව ප්‍රකාශ කර තිබේ.

“හෝමාගම සිට ක්‍රීඩා භාර ගුරුවරිය පැමිණෙන තෙක්, ජාතික මට්ටමේ තරඟයකට සූදානම් වන පාසල් දැරියන්ට මහමඟ පදික වේදිකාවේ පැය ගණනාවක් රඳා සිටීමට සිදු විය.”

දෙමාපියන්ගේ විරෝධය

සාමාන්‍යයෙන් පුහුණුවීම් සිදුවන අවස්ථාවලදී පිහිනුම් අංගන කළමනාකාරවරිය සහ පුහුණුකරුවන් සිටින බැවින් ක්‍රීඩා භාර ගුරුවරියගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය නොවන බව දෙමාපියෝ පෙන්වා දෙති. එසේ තිබියදී, හිතාමතාම දරුවන් අපහසුතාවයට පත් කරමින්, ඔවුන්ගේ ආරක්ෂාව පවා නොතකා විදුහල්පතිනිය කටයුතු කර ඇති බවට ඔවුහු චෝදනා කරති.

පාසල් දැරියන්ගේ ගෞරවයට හා ආරක්ෂාවට හානි වන පරිදිත්, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට අගෞරව වන පරිදිත් කටයුතු කළ මෙම විදුහල්පතිනිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතාගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *