මාස දෙකක්, තුනක් ඇතුළත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලට ද බැංකු කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මහනුවර, බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවකට සහභාගිවූ අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පසුගිය (30) දින මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශාල ප්‍රමාණයක් තිබෙන බැවින් මගී ජනතාවට එයින් විශාල පහසුවක් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 2026 වර්ෂයේ ජුනි මාසය වන විට බැංකු කාඩ්පත් මඟින් බස් රථ සඳහා මුදල් ගෙවීමේ ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
ජනතාව තෘප්තිමත් වන ප්‍රවාහන සේවයක් ලබාදීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගත වන බවත්, කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ කටයුතු වසර පහළොවකට පමණ පෙර ආරම්භ කිරීමට තිබූ කාර්යයක්, නමුත් දැන් එම කාර්ය ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
මගී ජනතාව වෙත ඉතිරි මුදල් ගෙවීමේ ගැටලු, කාලය ඉතිරි වීම ආදි පහසුකම් මේ ක්‍රමයෙන් සලසා දීම අරමුණයි. මේ වන විට අධිවේගි මාර්ගයේ බස් රථ අනූ හයකට පමණ බැංකු කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමය භාවිත කරමින් සිටින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රට තුළ මගී ප්‍රවාහන සේවයේ හොඳ තත්ත්වයක් නොමැති බවත්, පොදු ජනතාවට ගැළපෙන හොඳ ප්‍රවාහන සේවයක් ලබාදීමට සෑම පියවරක්ම ගනිමින් සිටින බවත් ඇමැතිවරයා පැවසීය. ඒ සඳහා මේ වන විට කෙටි කාලීනව ලබාදිය හැකි විසඳුම් ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේය.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු නිලධාරීහු පිරිස් මෙම අවස්ථාවට එක් වූහ.