සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’ (Zen Beta) පරපුරට පක්ෂය සහ දේශපාලනය බාර දීමට කාලය පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (04) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති ‘SMART UNP’ ඩිජිටල් වැඩසටහන සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
නවීන තාක්ෂණය සහ ‘ස්මාර්ට්’ දේශපාලනය (Smart Politics) වැලඳගත හැකි නව පරපුරේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට ප්‍රතිසංවිධානය වෙමින් පවතින බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ඓතිහාසික නායකත්වය සහ පරම්පරා වෙනස
අතීත නායකයින් විවිධ පරම්පරා වෙනුවෙන් රට සූදානම් කළ ආකාරය සිහිපත් කළ වික්‍රමසිංහ මහතා, ඩී.එස්. සේනානායක මහතා ‘බේබි බූමර්ස්’ පරපුරටත්, ජේ.ආර්. ජයවර්ධන මහතා ‘මිලේනියල්’ පරපුරටත් පදනම දැමූ බව පැවසීය.
“මගේ වයස දැන් 70 ඉක්මවා තිබෙනවා. පක්ෂයේ 50 සහ 60 වයස්වල අයත් සිටිනවා. දැන් අපේ වගකීම වන්නේ පක්ෂය නවීන තාක්ෂණය සමග ඉදිරියට ගෙන යා හැකි ‘ජෙන්-සී’ සහ ‘සෙන් බීටා’ වැනි තරුණ පිරිස්වලට පක්ෂය භාර දීමයි.”
තාක්ෂණික විප්ලවය සහ නව තනතුරු
අනාගත දේශපාලනය සඳහා වර්චුවල් රියැලිටි (VR) වැනි තාක්ෂණයන් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා, ඒ වෙනුවෙන් පක්ෂය තුළ නව තනතුරු කිහිපයක් හඳුන්වා දෙන බව ද අනාවරණය කළේය:
- ඩිජිටල් පරිපාලක (Digital Administrator)
- ඩිජිටල් සංවිධායක (Digital Organizers)
මීට අමතරව, ‘SMART UNP’ වැඩසටහන යටතේ සිරිකොත මූලස්ථානය ස්ටාර්ලින්ක් (Starlink) තාක්ෂණය ඔස්සේ අධිවේගී අන්තර්ජාල පහසුකම්වලින් සන්නද්ධ කෙරෙන අතර, සාමාජිකයින් සඳහා නව ඩිජිටල් සාමාජික කාඩ්පත් හඳුන්වා දීමට ද කටයුතු යොදා ඇත.
ගෝලීය අභියෝග සහ අනාගතය
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලපෑම, චීනයේ ආර්ථික තරගකාරිත්වය සහ ඉන්දියාව සුපිරි බලවතෙකු ලෙස නැගී ඒම වැනි ගෝලීය යථාර්ථයන්ට මුහුණ දිය හැකි නායකත්වයක් රටට අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
2022 වසරේ ඇද වැටුණු ආර්ථිකය තමා ස්ථාවර කළ බවත්, දැන් පවතින්නේ තාක්ෂණය මත පදනම් වූ නව යුගයක් බැවින් 2048 ඉලක්කය ජය ගැනීමට තරුණ පරපුරට මග පෙන්විය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.