දේශපාලන හිතවතුන්ටත් දිලා,බදු නොගෙවා රජයේ ඉඩම් භුක්ති විඳින අයට නිතීය ක්‍රියාත්මක කරයි

නීති විරෝධී ලෙස රජයේ ඉඩම් අත්පත් කරගැනීම අපරාධයක් ලෙස සලකා, රජයේ ඉඩම් පරිහරණය කරමින් බදු නොගෙවන වංචනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති අරවින්ද සෙනරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

අතුරු බදුකරුවන්ට රජයේ ඉඩම් බදු දෙමින් අයථා ගනුදෙනු පසුගිය ආණ්ඩු කාලයන් පුරාවටම සිදු කර ඇති බවත් දිස්ත්‍රික්ක 20කට ආසන්න සංඛ්‍යාවකින් එවැනි ගනුදෙනු වාර්තා වන බවත් ඒ මහතා කීය. රජයේ ඉඩම් වංචනිකව දේශපාලන හිතවතුන්ට ලබාදී ඇති බවට තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රටේ සිටි පාලකයන්ට ඉඩම් පවරාදීම් සිදු කිරීමේදී ජනතාවට අහිමි කළේ, ඉඩම පමණක්ම නොව පොදු පරිහරණය සඳහා භාවිත කිරීමට තිබූ ඉඩම් බවත් විවිධ කරුණු මත තමන්ගේ දේශපාලන හිතවතුන්ට රජයේ ඉඩම් ලබාදීම ඉතිහාසය පුරාවටම සිදුව ඇති බවත් ඔහු පැවසුවේය.

දේශපාලන පක්ෂවලට උදවු උපකාර කළ පුද්ගලයන්ට සන්තෝසම් ලෙස මෙම ඉඩම් ලබාදීම ඉතිහාසය පුරාවට සිදුව ඇතැයි නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *