අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අත්හිටුවීම සඳහා කඩිනමින් පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මින් ඉදිරියට මෙරට මගී ප්‍රවාහනය සඳහා බස් රථවලට අවස්ථාව ලැබෙන්නේ සාමාන්‍ය හා සුඛෝපභෝගි කාණ්ඩ දෙක යටතේ පමණක් බව ද ඒ මහතා කීය. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මහනුවර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.
“මින් ඉදිරියට බස් රථ ආනයනය කරන්න අවස්ථාව ලැබෙන්නේ කාණ්ඩ තුනක් යටතේ පමණයි. ස්ටෑන්ඩඩ්, ඩිලක්ස් හා ලක්ෂරි කියන කාණ්ඩ තුන ඔස්සේ පමණක් බස් රථ ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ නීති කඩිනමින් හඳුන්වා දෙනවා. ඒ වගේම සාමාන්‍ය හා සුඛෝපභෝගි බස් රථ සඳහා පමණක් මගී ප්‍රවාහනයට අවසර හිමි වන අතර අර්ධ සුඛෝපභෝගි සේවාව අහෝසි කරන්න කටයුතු කරනවා. මේ අනුව ඉදිරියේදී බස්වල ප්‍රවේශපත්‍ර වටිනාකම් පැවැතිය හැක්කේ දෙකක් පමණයි.
මගී ප්‍රවාහනය සඳහා ලබාදෙන මාර්ග බලපත්‍ර විකිණීම හේතුවෙන් මේ වන විට එම බලපත්‍ර බොහොමයක් තිබෙන්නේ මුල් හිමිකරු සතුව නෙවෙයි. මෙම තත්ත්වය හේතුවෙන් මතුව තිබෙන අර්බුද මඟහරවා ගැනීමට බලපත්‍ර අයිතිය නීත්‍යනුකූලව මාරුකිරීමට අවස්ථාව ලබා දෙනවා. මොකද මේ වන විට බොහෝ බස් රථවල මගී ප්‍රවාහන මාර්ග බලපත්‍රය තිබෙන්නේ මුල් හිමිකරු සතුව නෙවෙයි. එය අතින් අතට යෑම නිසා ගුණාත්මක මගී සේවාවක් සඳහා අවශ්‍ය නව බස් රථ මාර්ගවලට එකතු කිරීමත් ගැටලුවක් වී තිබෙනවා.
ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ හා කාර්යාල බස් නියාමනයට අවශ්‍යය නීති කඩිනමින් ගැසට් කිරීමට පියවර ගනිමින් සිටිනවා. අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්රය පවතින්නේ එතරම් යහපත් තත්ත්වයක නෙවෙයි. පවතින තත්ත්වයෙන් එය නඟාසිටුවීමට වැඩපිළිවෙළ කිහිපයක්ම ක්‍රියාත්මකයි. ත්‍රීවීල්, පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථ හා කාර්යාල බස් රථ නියාමනය කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලබා ගනිමින් පනත් සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත්තා.
මේ නියාමනය සඳහා අවශ්‍ය පිරිවිතර සියල්ල සකස් කරමින් තිබෙනවා. පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ නියාමනය කරන්න පිරිවිතර සකස් කළා. ඒ සම්බන්ධයෙන් පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ හිමියන් පවත්වාගෙන යන වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළා. කාර්යාල සේවක ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් ද පිරිවිතර සකස් කළා.
ත්‍රිරෝද රථ සහෝදරයන් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කළ යුතුයි. මූලික කරුණු සම්බන්ධයෙන් සියලු දෙනා එකඟතාවකට පැමිණ තිබෙනවා. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් පසු ගැසට් කිරීම ඔස්සේ නීතියක් බවට පත් කරනවා. ඉන්පසු අපට පුළුවන් ත්‍රිරෝද රථ, පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ හා කාර්යාල බස් රථ නියාමනය කරන්න.”