ඉන්දු – පාකිස්ථාන තරගය ගැන ජනපති අනුර සමග කතා කරා – පාකිස්ථානු රජය නිල වශයෙන් දැනුම් දෙයි

මේ දිනවල පැවැත්වෙනT20 ලෝක කුසලාන තරඟාවලියට අදාල ඉන්දියානු කණ්ඩායම සමඟ තරඟයට සහාභාගී වන බව පකිස්තානය නිල වශයෙන් නිවේදනය කරනවා.

ඒ ඊයේ (09) රාත්‍රියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්.

ඊයේ රාත්‍රියේ දෙරටේ නායකයින් දුරකතන සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඉන් අනතුරුව පාකිස්තානු රජයේ නිල X ගිණුමේ සටහනක් තබමින් පාකිස්තානු රජය ඉන්දියානු කණ්ඩායමට එරෙහිව තරඟයට සහභාගී වන බව නිල වශයෙන් ප්‍රකාශ කළා.

“අද සවස (09) අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන ඇමතුමක් පැවැත්වීය. ඔවුන්ගේ උණුසුම් හා මිත්‍රශීලී සංවාදය අතරතුර, විශේෂයෙන් අභියෝගාත්මක කාලවලදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සැමවිටම උරෙන් උර ගැටී සිටි බව ඔවුන් සිහිපත් කළහ. වත්මන් අවුල් සහගත තත්ත්වය මිත්‍රශීලීව විසඳීම සඳහා බැරෑරුම් ලෙස සලකා බලන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

බහු පාර්ශ්වික සාකච්ඡාවලින් ලබාගත් ප්‍රතිඵල මෙන්ම මිත්‍රශීලී රටවල ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, 2026 පෙබරවාරි 15 ​​වන දින ICC පිරිමි T20 ලෝක කුසලානයේ පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා පිටියට පිවිසෙන ලෙස පාකිස්තාන රජය පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට මෙයින් නියෝග කරයි.

එපමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය ආරක්ෂා කිරීම සහ සහභාගී වන සියලුම ජාතීන් තුළ මෙම ගෝලීය ක්‍රීඩාවේ අඛණ්ඩ පැවැත්මට සහාය වීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇත.”

යනුවෙන් පකිස්තානු රජයේ නිල X ගිණුමේ සඳහන් වනවා.

ඒ අනුව ඉන්දු – පාකිස්ථාන තරගය ලබන 15 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගයට ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

ආරක්ෂක හේතුන් නිසා වසර ගණනාවක් පාකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැමිණීම නවතා තිබූ සමයේ, ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරය අවලංගු නොකර පාකිස්ථානයට ගමන් කළ අමතක නොවන සංචාරය පිළිබඳව ද පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් ප්‍රශංසා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *