මඩකලපුව රාමක්‍රිෂ්ණ මිෂන් පාසල 1962.07.23 දිනැති ගැසට් නිවේදනය මගින් රජයේ පාසලක් බවට පත් කළ එකකි. 1978 වසරේ දී ඇති වූ සුළි කුණාටුවෙන් හානි වීමෙන් පසු මේ පාසල වර්තමාන ස්ථානයේ පිහිටුවන ලද අතර, එහි අධ්‍යයන කටයුතු 1979 දී නැවත ආරම්භ කරන ලදි. 1990 වසරේ දී, පාසල් පරිශ්‍රය හමුදා කඳවුරක් ලෙස භාවිත කිරීමට පවරා ගැනීමට සිදු විය. ඒ වන විට පාසලේ 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වන ලද අතර, ආසන්න වශයෙන් සිසුහු 800 ක් පමණ අධ්‍යාපනය ලැබූහ.
හමුදාවට පවරාගැනීමෙන් අනතුරුව පාසල තාවකාලිකව වන්දාරුමූලයි මධ්‍ය මහා විද්‍යාල, දේවපුරම් ගජමුගන් විද්‍යාල සහ පෞද්ගලික ඉඩම් කිහිපයක ක්‍රියාත්මක විය. පසුව, ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය සහ සහභාගිත්වය ඇතිව, මුරක්කොට්ටන්සේනයි ප්‍රධාන මාර්ගයේ ජලාශය අසල අක්කරයක පමණ ඉඩමක පාසල නැවත ස්ථාපිත කෙරිණි. වර්තමානයේ, පාසල ගංවතුර ආපදාවට ලක්වීම හා අධ්‍යයන කටයුතු සඳහා ඉඩකඩ මදිවීම හේතුවෙන් ඉගැන්වීම් කාර්යයන් දැඩි දුෂ්කරතාවට ලක් විය.
ඒ අනුව, හමුදාව විසින් අත්පත් කරගෙන සිටි පාසල් පරිශ්‍රය, අධ්‍යාපන කටයුතු සඳහා 2025.09.30 වැනි දින නිල වශයෙන් නිදහස් කෙරිණි. මේ ඉඩමේ මුළු වර්ග ප්‍රමාණය අක්කර 02කි. නිදහස් කරන ලද පරිශ්‍රය අඩි 100 x 20 ප්‍රමාණයේ ගොඩනැඟිලි දෙකකින්, අඩි 110 x 20 ප්‍රමාණයේ ගොඩනැඟිල්ලකින් සහ අඩි 40 x 20 ප්‍රමාණයේ ගොඩනැඟිල්ලකින් සමන්විතය.
ඒ අනුව, ප්‍රාථමික අංශයේ පිරිමි ළමයින් 112ක් සහ ගැහැනු ළමයින් 84කගෙන් සමන්විත සිසුන් 196 දෙනෙකු ඔවුන්ගේ ගුරුවරුන් සමඟ 2026.02.10 වැනි දින මාරුකිරීමෙන් පසු අධ්‍යයන කටයුතු ආරම්භ විය.
පාසලේ 2025 නඩත්තු වැඩසටහන යටතේ පානීය ජල පහසුකම් ඇතුළු පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් වෙන් කර ඇත. මවුපියන්ගේ දායකත්වයෙන් පන්ති කාමර හතක් නැවත පින්තාරු කර තිබේ. ඊට අමතරව, ප්‍රජා සහාය ඇතිව පාසලේ එක් පැත්තක මීටර් 140 ක මායිම් වැටක් ද ඉදිකරන ලදී.
මේ පරිශ්‍රයේ පාසල නැවත ස්ථාපනය කර අධ්‍යාපන කාර්යයන් ආරම්භ කිරීමේ අවස්ථාවට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, විදුහල්පති තවනේෂ්වරන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.