ස්වාමීන් වහන්සේලාගේ දේශනාවල විනාඩි 05-10ක් මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳ සමාජයට පණිවිඩයක් ගියොත් රටේ විශාල සමාජ මතයක් ගොඩනැඟිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එමෙන් ම, පාසල් ගුරුවරු, විදුහල්පතිවරු සමාජයට පණිවිඩයක් ගෙන ගියොත් මෙය සමාජ මතයක් ලෙස ගොඩනැගිය හැකි බව ත් මෙය ආණ්ඩුවේ, පොලිසියේ, හමුදාවේ පමණක් කාර්යභාරයක් නොව පොදු සමාජයේ කාර්යභාරයක් බව ත් හෙතෙම සඳහන් කළේ ය.
රටේ දරුවන්, නීති විරෝධී අවි සමග ගනුදෙනු කරන තැනට පත්ව තිබෙනවා මෙන් ම ඔවුන් විසින් විශාල ධනයක් ඉන් එක්රැස් කර ගන්නා බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
ඔහු පැවසුවේ, ඇතැම් ප්‍රාදේශීය සභා සභාපතිවරු අපරාධවලට සම්බන්ධ වූ අය වන අතර ඇතැමුන් එම මුදල් වියදම් කර පක්ෂ හදන බව ත් ඒ අනුව තව ටික කලක් ගත වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාම දේශපාලනඥයන් වීමට ඉඩ හැදෙන බව ත් ඔහු පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, 11 වන දා පස්වරුවේ නුවරඑළිය නගරයේ පැවති විස මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රට ම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහනට එක්වෙමිනි.
ජනාධිපතිවරයා මෙසේ ද කීය.
“කිසිදු දරුවෙක් මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් බවට පත්නොවන රටක් අපි ගොඩනැගිය යුතු යි. කිසිදු මවක්, පවුලක් වින්දිතයන් බවට පත් නොවන සමාජයක් අපි හදන්න ඕන. ඒ පිළිබඳ අප තුළ විශාල අපේක්ෂාවක් තිබෙනවා. ඒ ව්‍යසනය එතැනින් නතර වෙන්නේ නැහැ. අපරාධ හිස ඔසවනවා. පසුගිය කාලයේ තැන තැන සිදු වූ වෙඩි තැබීම් පසුපස තිබෙන්නේ මේ මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ බෙදා ගැනීම සඳහා තිබෙන තරගයයි.
මෙහිදී විශාල කාර්යභාරයක් අපේ හාමුදුරුවන් වහන්සේලාට සහ ආගමික නායකයන්ට පැවරී තිබෙන බව මම විශ්වාස කරනවා. ඔබ වහන්සේලාගේ දේශනාවල විනාඩි 05-10ක් මේ ව්‍යසනය පිළිබඳ සමාජයට පණිවිඩයක් ගියොත් අපිට විශාල සමාජ මතයක් ගොඩනැගිය හැකි යි. පාසල් ගුරුවරු, විදුහල්පතිවරු සමාජයට පණිවිඩයක් ගෙන ගියොත් මෙය සමාජ මතයක් ලෙස ගොඩනැගිය හැකියි. ඒ නිසා මෙය ආණ්ඩුවේ, පොලිසියේ, හමුදාවේ පමණක් කාර්යභාරයක් නොව පොදු සමාජයේ කාර්යභාරයක් බවට පත් විය යුතු යි. අපිට මේ ව්‍යසනය පරාජය කළ හැකියි. ඒ සඳහා අපි සියලු දෙනා එක්විය යුතු යි. ඒ නිසා ඉවත බලා නොසිට මේ ව්‍යසනය පරාජය කිරීමට මැදිහත් වෙමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”