අධිකරණ සේවා කොමිසම අල්ලස් හෝ දූෂණ නඩු විභාග කිරීම සඳහා අලුතින් ස්ථාපිත කළ දෙවැනි මහාධිකරණයේ කටයුතු අද (15) සිට ආරම්භ වේ. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අල්ලස් හෝ දූෂණ නඩු විභාග කිරීමට වෙනම අධිකරණ පිහිටුවීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කළේය.
ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මස 22 වැනිදා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 6 නමින් අල්ලස් නඩු විමසීමට අලුතින් මහාධිකරණයක්
පිහිටුවීම සිදු විය. එය මෙරට අධිකරණ පද්ධතියේ අල්ලස් නඩු විමසීමට මහාධිකරණයක් ස්ථාපිත කළ පළමු අවස්ථාව විය.
අල්ලස් නඩු විමසීමට වෙනම අධිකරණයක් පිහිටුවීම නිසා කාලයක් පුරා ගොඩ ගැසී තිබූ නඩු රැසක් නොපමාව විභාගයට ගැනීම සිදු විය. මහාධිකරණ නඩුවල පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මාස තුනක් ඇතුළත අවසන් කරන ලෙස අගවිනිසුරුවරයා අධිකරණයට කර ඇති දැනුම් දීම අනුව නඩු විභාග කඩිනම් කර ඇත. අල්ලස් නඩු විශාල ප්‍රමාණයක් පවතින බැවින් අනෙකුත් නඩු සමඟ ඒවා විභාග කිරීමේදී ප්‍රමාදයක් සිදු වන නිසා කඩිනමින් තීන්දු ප්‍රකාශ කිරීමට විශේෂිත මහාධිකරණ තුනක් ස්ථාපිත කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. අධිකරණ සේවා කොමිසම නව අධිකරණ දෙක ස්ථාපිත කර ඇත්තේ එම ඉල්ලීම අනුවයි. නව මහාධිකරණය බොරැල්ලේ, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවතේ, අංක 94 දරන ස්ථානයේ පැරණි කම්කරු උසාවිය පැවති ස්ථානයේ ස්ථාපිත කර ඇත.
හිටපු ඇමැතිවරුන් සහ ජනාධිපතිවරුන් භාවිත කළ නිල නිවාස 4ක් ද මේ වන විට මහාධිකරණ සංකීර්ණ බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සලස්වා තිබේ.
එම මහාධිකරණ අංක බී/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක සී 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක සී 108, විජේරාම පාර, කොළඹ 07 සහ සී 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය ස්ථානවල පිහිටා ඇත.
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ තිබූ එම නිල නිවාස අධිකරණ ශාලා බවට පත්කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පවරා ඇත. අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්වීම නිසා මෙතෙක් කලක් අධිකරණ පියසේ පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කෘත්‍යයන් විභාගයට ගැනීම එම ස්ථානයට ගෙනයෑම සිදු විය. ඒ අනුව හිස් වූ ‘අධිකරණ පියස‘නමින් හඳුන්වන අලුත්කඩේ පැරණි මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිලි සංකීර්ණයේ නව මහාධිකරණ 5ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. මේ අතර ශ්‍රී ලංකාව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය ලෝකයේ දූෂණය මැන බැලීමට භාවිත කරන රටවල් 182ක් අතරින් 107 වැනි ස්ථානය දක්වා ඉදිරියට ගමන් කර ඇත. 2017 වසරේ ශ්‍රී ලංකාවට ගෝලීය දූෂණ සංජානන දර්ශකයේ ලකුණු 38ක් හිමි වූ අතර 2024 වසරේ එය ලකුණු 32 දක්වා අඩු විය. එහිදී මෙරටට 121 වැනි ස්ථානයේ හිමි විය. 2025 වසරේ සිට ශ්‍රී ලංකාව දූෂණ විරෝධී රාජ්‍යයක් බවට පත්වෙමින් රටවල් 14කින් ඉදිරියට පැමිණ තිබේ. පසුගිය වසරේ අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසම කැපී පෙනෙන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළේය.