එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක ආයෝජනයකින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති උද්‍යානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබේ.
මෙගාවොට් 150ක ධාරිතාවයකින් යුත් මෙම දැවැන්ත ව්‍යාපෘතියේ පළමු දායකත්වය 2026 වසරේදී ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතය.
දැනටමත් මෙගාවොට් 50ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතිය ට එකතු කිරීමට සමත්ව ඇති මෙම ව්‍යාපෘතිය මේ වසර අවසානය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.
එක්සත් ජනපද ඩොලර් මිලියන 150ක පෞද්ගලික ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, මෙරට පුනර්ජනනීය බලශක්ති ඉතිහාසයේ වික්ටෝරියා (මෙගාවොට් 210) සහ ඉහළ කොත්මලේ (මෙගාවොට් 150) ජල විදුලි බලාගාරවලට පමණක් දෙවැනි වන දැවැන්ත පියවරකි.
සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ මහවැලි අධිකාරිය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුනර්ජනනීය බලශක්ති උද්‍යානයක ඉදිවන මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, විදේශීය ඍජු ආයෝජන (FDI), දේශීය බැංකු ණය සහ කොටස් ප්රාග්ධනය මඟින් දැනටමත් සපයාගෙන ඇත.
වාර්ෂිකව නියං කාලසීමාවන්හිදී දකුණු පළාත මුහුණ දෙන විදුලි කප්පාදුවට තිරසර විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත. ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු දිවා කාලයේදී මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 20%ක් සපුරාලීමට අපේක්ෂා කෙරේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික ජනන සැලැසුමට අනුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව යටතේ අවශ්‍ය සියලුම බලපත්‍ර සහ අනුමැතින් ලබාගත් ව්‍යාපෘතියක් බව 2025 පෙබරවාරි මාසයේ දී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.
මේ වන විට ව්‍යාපෘතියට අවශ්‍ය භූමිය සකස් කිරීම සහ සීමා ඉදිකිරීම් ඇතුළු මූලික මෙහෙයුම් කටයුතු සාර්ථකව අවසන් කර තිබේ .
අක්කර 500ක භූමි භාගයක ඉදිකරන මෙගාවොට් 150ක සූර්ය බල උද්‍යානය නිසා විදුලි කප්පාදුවට තිරසර විසඳුමක් ලැබීමට නියමිත බව ව්‍යාපෘති ඉංජිනේරු තිලංක බණ්ඩාර මහතා පැවැසීය.
මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ නිපුණ ශ්‍රමිකයන්, කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවරුන් සඳහා රැකියා අවස්ථා රාශියක් විවෘත වී ඇති අතර බලශක්ති ජනනයට අමතරව, වල් අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා සංවේදී භූමි ප්‍රදේශ විධිමත් ලෙස කළමනාකරණය කරමින් අලි ඇතුන් ජාතික උද්‍යාන කරා යොමු කිරීමටද මෙහි දී පරිසර හිතකාමී විසඳුම් ක්‍රියාත්මක කෙරේ .හරිත බලශක්තියෙන් යුතු ශ්‍රී ලංකාවක් උදෙසා තැබූ මෙම ඉදිරිගාමී පියවර මෙරට සංවර්ධනයේ නව දිශානතියක් වනු ඇතැයි වත්මන් රජය විශ්වාසය පළ කරයි.