ඕනෑ ම හදිසි තත්ත්වයකට මුහුණ දෙන්න දුම්රියට වගේ ම රෝහල්වලටත් ත්‍රිවිධ හමුදාව පුහුණු කළ යුතුයි – ඇමති බිමල්

හදිසි තත්ත්වයකදී ඕනෑ ම විෂයක් සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පුහුණු වී තිබීම අවශ්‍ය බව ත් එය දුම්රියට පමණක් නොව රෝහල් පද්ධතියට පවා අදාළ බව ත් ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක ඊයේ (පෙබ. 18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

යුද හමුදාවේ විසි දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීම උත්සාහ කළේ ඔවුන් දුම්රිය සේවයට අනුයුක්ත කිරීමට නොවන බව ත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් වෘත්තීය සමිති කටයුතු කළ ආකාරය ගැන තමන් කණගාටු වන බව ත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

විශේෂයෙන් ම දරුවන්ගේ ජීවිත බිල්ලට තබා ගනිමින් වැඩ වර්ජනයක් සිදු කරනු ඇතැයි තමා කිසි විටෙක අපේක්ෂා නොකළ බව ඇමතිවරයා පැවසුවේය.

ඇමැතිවරයා මෙසේ ද කීය.

“ඊයේ දිනයේදී දුම්රිය වැඩ වර්ජනයක් කරන්න උත්සාහයක් කළා. එය නැවතුණා. දුම්රිය මාර්ග, දුම්රිය එන්ජින් ප්‍රතිසංස්කරණය කරන්න විට ත්‍රිවිධ හමුදාවෙන් අපට උදවු දුන්නා. ඒ නිසා අපි කල්පනා කළා හදිසි තත්ත්වයකදී ඕනෑ ම විෂයක් සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පුහුණු වී තිබීම අවශ්‍ය බව. එය දුම්රියට පමණක් නොව රෝහල් පද්ධතියට පවා අදාළයි.

අපේ රටේ දිනකට දුම්රිය වාර 280ක් පමණ සිදුවෙනවා. හමුදාවේ විස්සක් පුහුණු කරන්නේ දුම්රිය රියැදුරුකමට ගන්න නෙවේ. ඔවුන් දුම්රිය සේවයට අනුයුක්ත කිරීමට නෙවෙයි අපි අපේක්ෂා කළේ. හමුදාවේ 20ක් පුහුණු කළා කියලා දුම්රිය සේවාවට ඔවුන්ගෙන් බලපෑමක් කරන්න බැහැ. එවැනි තත්ත්වයකදී තමයි මේ වැඩ වර්ජනයක් කැඳවූවේ. හමුදා නිලධාරීන් පුහුණු කරන්නේ හදිසි තත්ත්වයකදී යොදා ගන්න. වෘත්තීය සමිති අරගල කුඩු කරන්න අපට ත්‍රිවිධ හමුදාව දා ගන්න ඕන නැහැ. 2025 මැයි 25 වැනිදා වැඩ වර්ජනයක් කළා.

ඒ අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාවක් ගැන අපි හිතුවේ නැහැ. බෑග් එක ගෙනියන්න සේවකයෙක් හිටියේ නැහැ කියලා පොල්ගහවෙලදී දුම්රිය නතර කරලා ගියා. ඒවා අන්තිම අසාධාරණ කටයුතු. රෙස්ට් රූම් නැහැ කියලා මඩකළපුවේදී රාත්‍රි 11ට ටිකට් ගත් දුම්රිය මගීන් 130ක් බැස්සුවා. ඒවා සාධාරණද?. වැඩ වර්ජනය කර ගැනීම ගැන විතරද හිතුවේ. සාමාන්‍ය පෙළ දරුවන් බිල්ලට ගනී කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ස්ටේෂන් මාස්ටර්ස්ලා අපි තමයි අරන් තිබෙන්නේ. රාජ්‍ය සේවාවේ කටයුතු ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැඩිදියුණු කරනවා.

දුම්රිය නිලධාරීන්ගේ දරුවනුත් සාමාන්‍ය පෙළ විභාගයට යනවා. මේ දරුවන් බිලි ගන්න තරම් දුරට ඔබතුමාලා යන්න සූදානම් කියන අදහස අපට දුන්නා. විශේෂඥ වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, ඕනෑම ක්ෂේත්‍රයක් සඳහා ත්‍රිවිධ හමුදාවක් සිටිය යුතුයි. ඊයේ පැය දෙක තුනකට හෝ සිදු වූ කලබලය ගැන සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් මම සමාව ඉල්ලනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *