ඇමෙරිකාව නාවික හමුදාවට දුන් නෞකාව ඇමෙරිකාවේ සිට ලංකාවට ගමන් අරඹයි

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් පසු ගිය 2025 දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් භාර දෙන ලද P 628, ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවන්ට අනුව නවීකරණයෙන් අනතුරුව, එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ්  ප්‍රාන්තයේ, ‘බැල්ටිමෝර්’ හි එක්සත් ජනපද වෙරළාරක්‍ෂක නෞකා අංගනයේ සිට කොළඹ බලා 2026 පෙබරවාරි මස 20 වැනි දින ගමන් ආරම්භ කෙරිණි.

එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ, එක්සත් ජනපද වෙරළාරක්‍ෂක නෞකා  ‘DECICIVE’ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2025 දෙසැම්බර් මස 02 වැනි දින නිල වශයෙන් භාර දීමෙන් පසු, පී 628 දරන අංකය (Pennant Number) යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට එක්වූ අතර, මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අධිකාරියට පත්කිරීමට නියමිතව ඇත. ‘B-Type Reliance Class 210-foot Cutter’ යන නෞකා පන්තියට අයත් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වූ මෙම නෞකාව දිගින් මිටර 64ක් සහ එක් වරකදී අවම වශයෙන් නාවික සැතපුම් 6000ක දුරක් ආවරණය වන පරිදි ආවේක්‍ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවකින් මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි නවීන තාක්‍ෂණික උපාංග හා පහසුකම් වලින් සමන්විත වේ.

ඒ අනුව, ‘පී 628’ නෞකාව , ‘බැල්ටිමෝර්’ හි පිහිටි එක්සත් ජනපද වෙරළාරක්‍ෂක නෞකා අංගනයේ සිට අත්ලාන්තික් සාගරය, පැනමා ඇල මාර්ගය ඔස්සේ පැසිෆික් සාගරය සහ මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දියානු සාගරය හරහා නාවික සැතපුම් 14,775 ක පමණ දීර්ඝ මුහුදු ගමනකින් පසු 2026 මැයි මස පළමු සතියේදී පමණ දිවයිනට පැමිණීමට  නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් විසින් සිදුකල දීර්ඝතම මුහුදු ගමන සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් පැනමා ඇල මාර්ගය ඔස්සේ ගමන්කල ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සනිටුහන් වේ. එමෙන්ම, මෙම දීර්ඝ මුහුදු ගමන් ම‍‍ඟෙහිදී සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ‘පී 628’ නෞකාව විදේශීය වරායන් වෙත පිවිසීමට නියමිතව ඇති අතර, එමඟින් එම රාජ්‍යන් සමඟ පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත්ව වර්ධනය වනු ඇත.  

තවද, සාගර කාලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජනපද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් සිව්වන (04) නෞකාව ලෙස මෙම ‘පී 628’ නෞකාව ලබා දීම සනිටුහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *