දිඹුල්ගමුවේ කොස් වෙළදුන්ට ක්ලීන් ශ්‍රි ලංකාව ව්‍යාපෘතියෙන් ලක්ෂ 90ක කොස් කඩ ලබා දෙයි

‘Clean Sri Lanka’ ජාතික වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින්, මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩවල උල්පත, දිඹුල්ගමුවේ ස්ථාපිත කළ “Dimbullgamuwa Jack & Chill” වෙළෙඳ සංකීර්ණය ඊයේ (23) දින ජනතා අයිතියට පත් කෙරිණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

​දීර්ඝ කාලයක සිට ඒ-9 ප්‍රධාන මාර්ගය අසල අවිධිමත් ලෙස පවත්වාගෙන ගිය දිඹුල්ගමුව ‘කොස් නැවතුම්පල’ වඩාත් විධිමත් හා සෞඛ්‍යාරක්ෂිත ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව, නවීන පහසුකම්වලින් සමන්විත වෙළෙඳ කුටි 21ක් මෙහිදී අදාළ වෙළෙඳ ප්‍රජාව වෙත නිල වශයෙන් භාර දීම සිදු විය. “Clean Sri Lanka” සංකල්පයට අනුව මෙම පරිශ්‍රය ඉතාමත් පිරිසිදු හා ක්‍රමවත් ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

​මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, පල්ලේපොල ප්‍රාදේශීය සභා සභාපති ඩී.බී. කොස්වත්ත යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. එසේම මාතලේ දිසාපති ප්‍රසන්න මදනායක මහතා, පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් චාන්දනී ඒකනායක මෙනවිය, මාතලේ ප්‍රාදේශීය ලේකම් හර්ෂ සේනාධීර මහතා සහ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ අනුරුද්ධ බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

​ඒ-9 මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථානයක් වන දිඹුල්ගමුව ප්‍රදේශය, මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය හරහා වඩාත් ප්‍රමිතියෙන් යුතු සංචාරක කලාපයක් ලෙස පරිවර්තනය වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති. “Dimbullgamuwa Jack & Chill” ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ පවුල් රැසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වී තිබේ.

image 6 Iri News
image 7 Iri News
image 8 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *