ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පුද්ගල අනන්‍යතාව සියයට සියයක් නිවැරදිව තහවුරු කළ හැකි ඩිජිටල් හැඳුනුම්පත මෙම වසරේ අගභාගය වන විට ජනතාවට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (25) පැවැති ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ 2026 වසර සඳහා සැලසුම් කර ඇති ඉදිරි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය මෙරටට හඳුන්වා දීමට 2012 වසරේ සිටම විවිධ උත්සාහයන් ගෙන තිබුණ ද, එම උත්සාහයන් සාර්ථක වී නොතිබුණි.
කෙසේ වෙතත්, වත්මන් පාලන සමයේ පළමු වසර තුළ ලැබූ සුවිශේෂී ප්‍රගතිය හේතුවෙන් මේ වන විට එහි ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවත් එළඹෙන අප්‍රේල් මාසය වන විට එම ප්‍රසම්පාදන කටයුතු නිම කර, වසරේ තෙවැනි හෝ සිවු වැනි කාර්තුව වන විට පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම රජයේ අරමුණ බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය. දැනට භාවිත වන සාම්ප්‍රදායික හැඳුනුම්පත් වෙනුවට පුද්ගලයන්ගේ ජීවමිතික දත්ත (Biometric data) භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වයයි. මේ හරහා තමන් කවුද යන්න ඕනෑම ස්ථානයකදී නිවැරදිව ඔප්පු කිරීමට පුරවැසියන්ට අවස්ථාව සැලසේ. මෙය රජයේ ආයතන සහ ජනතාව අතර පවතින සබඳතාවයේ දැවැන්ත පරිවර්තනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම නව පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ ජනතාවට රජයේ කාර්යාල වෙත භෞතිකව පැමිණීමේ අවශ්‍යතාව විශාල වශයෙන් අඩු වනු ඇත. එමෙන්ම, වෙනත් අයකු ලෙස පෙනී සිටිමින් සිදු කරන මූල්‍ය වංචා, සොරකම් සහ විවිධ අක්‍රමිකතා වැළැක්වීමට ද මෙමඟින් පූර්ණ හැකියාව ලැබෙන බව රජය අවධාරණය කරයි.
මෙම ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීම, ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ තීරණාත්මක සාධකයක් වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.