දේශපාලන අර්ථකථන ඕනැ නෑ – පාස්කු ප්‍රහාර විමර්ශන ස්වාධීනයි – සිරිල් ගාමිණි පියතුමා කියයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට දේශපාලන අර්ථකථන හෝ බාධා කිරීම් නොකර නීතියට ඉඩ දෙන්නැයි අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පැවැසූහ.

මේ සම්බන්ධයෙන් අගරදගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදී අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ඊයේ (26) සඳහන් කළේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ විවිධ අර්ථකථන දී, සමාජය තුළ වැරදි ආකල්ප සහ වැරදි අදහස් ගොඩනැ‍ඟීමට ගන්නා ඕනෑම උත්සාහයක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා…

හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‘ආරක්ෂක අංශයක නිලධාරියෙක්’, රණවිරුවෙක් යන හැඳින්වීම් ඉදිරිපත් කරමින්, නීතියෙන් වෙන් කර බැලිය යුතු පුද්ගලයකු ලෙස පෙන්වීමට උත්සාහ කරන අදහස් ඇතැමුන් ඉදිරිපත් කරනවා. එවැනි අදහස් සම්පූර්ණයෙන්ම වැරදියි.

අපි මතක තබාගත යුතු මූලික කරුණක් තියෙනවා. ඒ තමයි නීතිය හැම කෙනකුටම එකසේ, සාධාරණව ක්‍රියාත්මක විය යුතු බව. “කවුරුත් නීතියට ඉහළින් නැහැ” කියන මූලධර්මයයි නීතියේ ආධිපත්‍යය කියන්නේ. ඒ නිසා, කෙනකුගේ තනතුර, වෘත්තිය හෝ අතීතයේ කළ යහපත් කාර්යයන් කිසිවක් නීතිය ක්‍රියාත්මක වීමේදී අදාළ වෙන්නේ නැහැ.

නීතියේ ආධිපත්‍යය සත්‍ය ලෙස ස්ථාපිත වීමට නම්, එය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට හැමෝම දායක විය යුතුයි. ඒකට බාධා කිරීම කිසිසේත්ම සුදුසු දෙයක් නොවෙයි.

දැනට එම පුද්ගලයා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ විය හැකිද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සැකකරු ලෙස පමණක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වැරදිකරුවෙක්ද? නැද්ද? කියන එක තීරණය කරන්නේ අධිකරණය විසින්. ඒ නිසා, මේ අවස්ථාවේ කලබල වී අවසන් තීන්දුවක් දෙන ප්‍රකාශ කිරීම හෝ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය මත පැතිරවීම කිසිසේත්ම සුදුසු නැහැ.

මේ විදිහේ ප්‍රකාශ කරන සහ මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ අර්ථකථන දෙන අය දිහා බැලුවාම තේරෙනවා, ඒගොල්ලන්ගේ පිටුපස තියෙන න්‍යායපත්‍රය මොකක්ද කියලා. ඒ නිසා මේක දේශපාලනීකරණය කිරීමට අවශ්‍ය නැහැ. මේක සී.අයි.ඩී. එක කරන ස්වාධීන විමර්ශනයක්. ඒ විමර්ශන ස්වාධීනව කරන්න ඉඩ දෙන එක තමයි හොඳ.

එහෙම නැතිව මේ විමර්ශන කඩාකප්පල් කිරීමට දරන උත්සහය අපි දකින්නේ මේ ප්‍රහාරයෙන් ඝාතනයට පත්වුණු සහ ආබාධිත වින්දිතයන්ට සිදු කරන අසාධාරණයක් ලෙසයි. රටක් ලෙස අපි කළ යුත්තේ, මේ විමර්ශන දිහා ඉවසීමෙන්, විමසිල්ලෙන් බලා සිටීමයි. විමර්ශනවල ප්‍රතිඵල මොනවාද කියලා බලලා, නීතියට ඉඩ දීම තමයි සියලුදෙනාගේ වගකීම.

අපි හැමෝම දන්නා කරුණක් තමයි, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය පුරා නිසි විමර්ශනයක් සිදු නොවූ බව. විශේෂයෙන්ම, පසුගිය ආණ්ඩු කාලවලදී මේ විමර්ශන ප්‍රායෝගිකව ඇනහිට තිබුණා කියන එක ප්‍රසිද්ධ කරුණක්. කතෝලික සභාව හැටියට අපි අවුරුදු හතක් පුරා ඉවසීමෙන් යුක්තිය, සාධාරණත්වය සහ සත්‍යය ඉල්ලා සිටියා. අපි නිතරම ඉල්ලා සිටියේ, ස්වාධීන, පක්ෂපාතී නොවන විමර්ශනයක් සිදු කරලා, මේ මහා ඛේදවාචකය පිටුපස සැඟවී ඇති සත්‍යය හෙළි කරලා, වරදකරුවන් සියලු දෙනාට නීතිය අනුව දඬුවම් ලබා දෙන ලෙසයි.

2024 නොවැම්බර් මාසයෙන් පසු, නැවත වරක් මේ විමර්ශන ක්‍රියාවලිය ක්‍රමවත් ලෙස ආරම්භ වුණා. මාස 16කට ආසන්න කාලයක් පුරා මේ විමර්ශන ස්වාධීනව සිදුවෙමින් පවතින බව අපට පෙනෙනවා. ඒ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසයි දැන් හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ. මෙය දේශපාලන කරුණක් ලෙස අර්ථකථනය කිරීමට හෝ ජාතිවාදය, ආගම්වාදය අවුස්සා මේ විමර්ශනවලට බාධා කිරීමට උත්සාහ කිරීම, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සෑම අහිංසක ජීවිතයකටම සහ තවමත් ජීවිත පුරා වේදනාවෙන් ජීවත් වන වින්දිතයන්ට කරන දැඩි අසාධාරණයක්.

මෙය සාමාන්‍ය අපරාධයක් නෙවෙයි. මෙය මිනිස් ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි කළ, රටම කම්පනයට පත් කළ මහා සමූල ඝාතනයක්. බහුතරයක් පාස්කු ඉරිදා දිව්‍ය පූජාවට ගිය අය. ඒ නිසා, මේ පිටුපස තිබෙන සත්‍යය හෙළි විය යුතුයි.

ඒ අනුව, මේ සිදුවීම පිටුපස ඇති සැලසුම් කුමක්ද, එම සැලසුම් තුළ කවුරුන් සම්බන්ධ වී සිටින්නේද යන්න පිළිබඳ සූක්ෂ්මව අවධානය යොමු කරමින් සිටිනවා. මෙහි අවසන් ප්‍රතිඵලය කෙසේ වේද යන්න පිළිබඳ සමහර පුද්ගලයන් අතර භයක් ඇතිව තිබෙන බව ද අපට හැඟෙනවා. එම ප්‍රතිඵලය තමන්ට දරාගත නොහැකි තත්ත්වයක් විය හැකිද යන්න පිළිබඳ සමහරුන් කල්පනා කරමින් සිටිනවා. නමුත් ඒ ගැන අනවශ්‍ය ලෙස කල්පනා කිරීමට අවශ්‍ය නැහැ.

මෙම සිදුවීම ඇතැම් සංවිධාන හෝ කණ්ඩායම් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජන හෝ පරමාර්ථ ඉටු කරගැනීම සඳහා භාවිත කිරීමට උත්සාහ කරන්නේද යන්න පිළිබඳ ද කතාබහක් පවතිනවා.

මෙම විමර්ශන වෙනත් දිශාවකට හැරවීමට, එනම් සත්‍යය හෙළිවීම වැළැක්වීමට, උත්සාහ කරන පිරිස් කවුද යන්න පිළිබඳ ද අවධානය යොමු කිරීම ඉතා වැදගත්. සමහරුන් විසින් මෙම ප්‍රහාරය සිදුවීමට ඉඩ සැලසූ තවත් කණ්ඩායම් පවතින බව ද සඳහන් කරමින් සිටිනවා.

මෙම සියලු කරුණු නිසි ලෙස හඳුනාගෙන, ස්වාධීනව හා සාධාරණව විමර්ශනය කර සත්‍යය හෙළි කරගත්ත පසු, එය පසුපස ඇති දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණ තිබුණාද යන්නද පැහැදිලිව හෙළි කරගැනීමට හැකි වේවි. එම නිසා, මෙම විමර්ශන මුල සිටම ඉතා ස්වාධීනව සිදු කළ යුතුයි. මිනිසුන් මරා, තමන්ගේ අදහස් හෝ දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කළ පිරිස් තවමත් නිදහසේ සිටිනවා නම්, එය රටේ ආරක්ෂාව පිළිබඳ අතිශය බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙන්න පුළුවන්.

රටේ ආරක්ෂාව තහවුරු කරගැනීමටත්, ජනතාවට නීතිය ස්වාධීනව හා සාධාරණව ක්‍රියාත්මක වන බවට විශ්වාසය ඇති කිරීමටත්, එවැනි සියලු පිරිස් නීතිය ඉදිරියට ගෙන ඒම අත්‍යවශ්‍යයි. එවිටම පමණයි ජනතාවට නීතිය සැබෑවටම ක්‍රියාත්මක වන බව හැඟෙන්නේ.

මාධ්‍ය ආයතනවලින් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, මේ කරුණ දේශපාලන කෝණයකින් වාර්තා නොකරන්න කියලා. මාධ්‍ය ස්වාධීන නම්, කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පිරිසකට අවශ්‍ය විදිහට මේ කාරණා වක්‍රව ඉදිරිපත් කිරීම සුදුසු නැහැ.

අවසානයේ අපි හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ, මේ විමර්ශන ස්වාධීනව, බාධාවකින් තොරව ඉදිරියට යාමට ඉඩ දෙන්න කියලා. යුක්තිය ප්‍රමාද වුණත්, අවසානයේ එය ඉෂ්ට වෙයි කියන විශ්වාසය අපට තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *