හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද (04) කොළඹ මහාධිකරණය හමුවේදී පැවැත්වුණා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකාර අනිකා විජේසූරිය නමැත්තියගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.
අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත්තේ 2016 වසරේ පෙබරවාරි 12 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාලය තුළ රවී කරුණායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී “මොනාර්ක් නිවාස සංකීර්ණයේ” පිහිටි නිවසක පදිංචිව සිටීම සම්බන්ධයෙන්.
එම නිවස දෙවන විත්තිකාර අර්ජුන් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කරන ‘වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස්’ පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ එකක් බවත්, එවැනි නිවසක පදිංචිව සිටීම තුළින් අල්ලස් පනතේ 19 (ඇ) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවත් කොමිසම චෝදනා කරයි.
මෙම ක්‍රියාව සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මාර්තු 09 වනදා යළි කැඳවීමට නියෝග කළා.