ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අනතුරට පත්ව මුහුදුබත් වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාවේ සිටියදී මියගිය නාවිකයින්ගේ සිරුරු සුරක්ෂිතව තැන්පත් කිරීම සඳහා අඩි 40ක් දිගැති නවීන ජංගම ශීතාගාර (Mobile Mortuary Units) දෙකක් ඊයේ (05) රාත්‍රියේ කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන එනු ලැබීය.
මෙම ජංගම ශීතාගාර දෙකෙන් එකක් ගාල්ල ප්‍රදේශයේ දානපතියන් පිරිසක් විසින් ස්වකීය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මිලදී ගෙන කරාපිටිය ජාතික රෝහල වෙත පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි.
නෞකාව අනතුරට පත්වීමෙන් පසු මියගිය නාවිකයින් 80කට අධික පිරිසකගේ සිරුරු මේ වන විට කරාපිටිය රෝහල වෙත රැගෙන විත් ඇති අතර, රෝහලේ පවතින මෘත ශරීරාගාර පහසුකම් එම සිරුරු ප්‍රමාණයට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම ජංගම ශීතාගාර ඒකක කඩිනමින් ස්ථාපනය කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.
මනුෂ්‍යත්වය පෙරදැරි කරගනිමින්, ලොවක් කඳුළින් තෙත්වන මොහොතක කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ගාල්ලේ දානපතියන් සහ නිලධාරීන් එක්ව සිදුකළ මෙම සත්කාරය ප්‍රදේශවාසීන්ගේ මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේද ඉහළ ඇගයීමට ලක්ව ඇත.
අනතුරින් දිවි ගලවාගත් ඉරාන ජාතික නාවිකයින් 32කු මේ වන විටත් කරාපිටිය රෝහලේ දැඩි ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.