ශ්‍රි ලංකාවේ අල්ලස සහ දූෂණය අඩු වෙයි – ඉහළම මධ්‍යම මට්ටමේ සිට මධ්‍යම මට්ටම පහළට එයි

ශ්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ ආශ්‍රිත තර්ජන මට්ටම මීට පෙර ඇගයීමේ දී පැවති ඉහළ මධ්‍යම ශ්‍රේණිගත කිරීමේ සිට මධ්‍යම මට්ටම දක්වා අඩු වී ඇත.

දූෂණ සංජානන දර්ශකයට (Corruption Perceptions index) අනුව ශ්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ ආශ්‍රිත තර්ජන මට්ටම පිළිබඳ ශ්‍රේණිගත කිරීම, 2024 වසරේ පැවති 121 වන ස්ථානයේ (ලකුණු: 32) සිට 2025 වසරේ දී 107 වන ස්ථානය (ලකුණු: 35) දක්වා ස්ථාන 14ක් ඉහළ යෑම මගින් අල්ලස් සහ දූෂණ ආශ්‍රිත තර්ජන මට්ටම පහළ යෑම මැනවින් තහවුරු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.

මුදල් විශුද්ධිකරණ තර්ජන ඇගයීම යටතේ, වඩාත් බරපතළ මූලික වරද ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හඳුනාගෙන ඇති අතර මුදල් විශුද්ධිකරණ තර්ජන මට්ටම පෙර පැවති ඉහළ මධ්‍යම ශ්‍රේණිගත කිරීමේ සිට ඉහළ මට්ටම දක්වා වර්ධනය වී ඇති බව ද එහි සඳහන් වේ.

එසේම මංකොල්ලකෑම්, පාරිසරික සහ ස්වාභාවික සම්පත් ආශ්‍රිත අපරාධ, අනීතික, වාර්තා නොකරන සහ නියාමනය නොවන මසුන් ඇල්ලීම සම්බන්ධ ජාවාරම්, මිනිස් ජාවාරම සහ බදු අපරාධ ද මුදල් විශුද්ධිකරණ අවදානම් සම්බන්ධයෙන් මධ්‍යම මට්ටමේ පසුවන බවට වාර්තා වී ඇත.

මෙම ඇගයීම, මෙරට මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, සමූල ඝාතක අවි සංගණනය සඳහා මූල්‍යනය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ට සිය ආයතනික අවදානම් අවම කිරීමේ උපායමාර්ග ශක්තිමත් කිරීමට භාවිත කළ හැකි වැදගත් මූලාශ්‍රයක් බවත් ඒ නිසා ඉහළ අවදානමක් ඇති ක්ෂේත්‍ර සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් වෙන් කර එම අවදානම් අවම කිරීමට කටයුතු කිරීම මගින් පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සුපිළිපන්භාවය සහ ස්ථායීතාව සුරක්ෂිත කිරීමට හැකි බවත් එහි සඳහන් වේ.

මෙම නවතම ජාතික අවදානම් ඇගැයීමේ නිරීක්ෂණ සිය ආයතනික මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය පිළිබඳ අවදානම් ඇගැයීමට ඇතුළත් කර ගන්නා ලෙස 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනතේ 33 වන වගන්තිය යටතේ ආවරණය වන ආයතන වෙත උපදෙස් දෙන බව ද එහි තවදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *