ජනතාව පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් රජයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී රට පුරා උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බවත් මීළඟ ජනාධිපති ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගෙන ජනතාවට සහන ලබාදෙන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත් අබේසිංහ මහතා පැරිසියේදී පවසා තිබේ.
සමගි ජන බලවේගයේ ප්‍රංශ ශාඛාවේ සුහද හමුවක් පැරිස් නුවර ගැමියා අවහන්හලේදී පැවැති අවස්ථාවේ ඊට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා ඇත.
එහි දී වැඩිදුටත් අදහස් දැක්වූ චරිත් අබේසිංහ මහතා මෙසේද කීවේය.
“රාජපක්ෂවරුන්ට එරෙහිව ‘ගෝඨා ගෝ හෝම්’ (Gota Go Home) යනුවෙන් හඬ නඟමින් සහ ඔවුන්ගේ නිවාස ඉදිරිපිටට ගොස් විරෝධතා පවත්වමින් එම අරගලය ආරම්භ කළේ සමගි ජන බලවේගය ඇතුළු කණ්ඩායමයි. එදා ගෝඨාගේ ආණ්ඩුව පෙරළීමට සමගි ජන බලවේගය කටයුතු කළා. නමුත් අපි ගහ හෙල්ලුවට ගෙඩි වැටෙනකොට සරම ඇල්ලුවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි. අපට එහිදී දේශපාලන වාසිය ලබා ගන්න බැරි වුණා. නමුත් දැන් ඔහු බලය ලබාගෙන ජනතාව පීඩාවට පත්කරමින් නොහැකියාව පෙන්නුම් කරමින් සිටිනවා. ඊට එරෙහිව සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය ඒකාබද්ධව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් රට පුරා දියත් කිරීමට බලපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේදී ඒ පිළිබඳ ජනතාවට දැකගන්න පුළුවන් වේවි. ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු ඍණාත්මක ප්‍රකාශයක් සිදු කර නැහැ. සමගි ජන බලවේගය සියලු පක්ෂ ඒකාබද්ධ කරගෙන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ”