විදුලිය පිරිමැසීමට බව පවසා සවස 6:00 සිට රාත්‍රී 10:00 දක්වා මාර්ගවල වීදී ලාම්පු නිවා දැමීමෙන් කාන්තාවන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් මතුව ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි.
ප්‍රධාන මාර්ගවල මෙන් ම අතුරු මාර්ගවල ද වීදි ලාම්පු නිවා දමා ඇතැයි පවසන හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මංකොල්ලකරුවන් මහ මඟ රැඳී සිටීමෙන් අඳුරේදී කාන්තාවන්ගේ රන් ආභරණ පවා කොල්ල කා හැකි බව ය.
එමෙන් ම, එකී කාල සීමාවේ පවතින දැඩි අඳුර හේතුවෙන් යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන්, පදිකයින් ද යම් යම් අනතුරුවලට මුහුණපෑමට හැකි අතර එය එතරම් හොඳ තත්ත්වයක් නොවන බව ද ඔහු පවසයි.
“වැඩ ඇරිලා ගෙදර යන කාන්තාවන්ටත් ආරක්ෂාකාරීව යන්න විදියක් නැහැ. ඒ වගේ ම ටියුෂන් ඉවර වෙලා යන සිසුවියන්ටත් මේ අනාරක්ෂිත තත්ත්වය බලපාන්න පුළුවන්. රාත්‍රී දහයට වීදි ලාම්පු දල්වන්නේ මං හිතන්නේ හොරුන්ට අවශ්‍ය පහසුකම් සලසන්න. මොකද ඒගොල්ලන්ට පුළුවන්නේ එතකොට හොරා කන තැන් හොයාගන්න. මේ ආණ්ඩුවත් හොරකම් කරන නිසා හොරුන්ට තමයි ඔවුන් වැඩිපුර සලකන්නේ” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.