ශ්රී ලංකාව තුළ මෙතෙක් සිදු වූ සියලු සොරකම් එකතු කර බැලුවද, වත්මන් රජය සිදු කර ඇති ගල් අඟුරු වංචාවට ඒවා කිට්ටු කිරීමට පවා නොහැකි බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
දැනට ගණන් බලා ඇති පරිදි මෙම ගනුදෙනුව හරහා ඩොලර් බිලියන 30 ක පාඩුවක් සිදු වී ඇති බවයි අද (10) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්රීවරයා සඳහන් කළේ.
ප්රසම්පාදන කටයුතු නිවැරදිව සිදු වී ඇති බවත්, ගල් අඟුරු බාල බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළ ද, එම ප්රකාශවලින් ජනතාව රැවටිය නොහැකි බව මන්ත්රීවරයා පෙන්වා දුන්නා.
මෙහිදී අදාළ සමාගමේ ලියාපදිංචි කිරීම් නිවැරදිව සිදු වී නොමැති බව විගණකාධිපති වාර්තාවේම සඳහන්ව ඇති බව ද ඔහු ප්රකාශ කළා.
ආණ්ඩුවක වැඩිම මුදල් ගනුදෙනු සිදුවන්නේ බලශක්ති අංශය තුළ බවත්, ජනාධිපතිවරයා විසින්ම මෙම වංචාව වසා ගැනීමට උත්සාහ කරන බවයි රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.