බොරු ඇඟිලි සලකුණු යොදා තැපෑලේ සේවකයින් කෝටි 43ක OT ගත් බව අනාවරණය වෙයි

තැපැල් මූලස්ථානයේ සහ දිසා ගිණුම් කාර්යාල 14ක සාවද්‍ය ඇඟිලි සලකුණ යොදා සේවකයන්ට රුපියල් 438,818,533ක අතිකාල දීමනා ගෙවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

තැපැල් මූලස්ථානයේ සහ දිසා ගිණුම් කාර්යාල 14ක සේවක පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා සවි කරන ලද ඇඟිලි සලකුණු යන්ත්‍රවල, කාර්යාලයෙන් පිටවීම ඒ අනුව 16.15 ලෙස සටහන් වී තිබුණ ද අදාළ සේවකයන්ගේ පිටවීම රාත්‍රී 7, 8, 9, 10 යනාදී ලෙස ලේඛනයක ඇතුළත් කර ඇති බව එහිදී හෙළි විය.

ඒ අනුව තැපැල් මූලස්ථානයේ සේවකයන් 2023 වර්ෂයේ රු. 57,919,684 ක්ද, 2024 ජනවාරි සිට මැයි දක්වා රු. 7,024,144ක්ද, දිසා ගිණුම් කාර්යාල 14ක සේවකයන්ට 2024 ජනවාරි සිට ජුනි දක්වා රු. 373,874,705ක්ද සාවද්‍ය ලෙස අතිකාල දීමනා ගෙවා ඇති බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ, සේවක පුරප්පාඩු සංඛ්‍යාව 4000/5000ක් පවතින බවත් මේ නිසා නිලධාරීන්ට අතිකාල සේවයේ යෙදීමට සිදුව ඇති බවත් ය.

ඒ නිසා මෙම ගෙවීම් සාවද්‍ය ගෙවීම් නොවන බවත් නිලධාහු පෙන්වා දුන්හ.

මේ අනුව කාරක සභාව පෙන්වා දුන්නේ, අතිකාල ගෙවීම සඳහා වෙන් කරන මුදල්වලින් යම් සේවකයන් ප්‍රමාණයක් බඳවාගෙන වැටුප් ගෙවීම සිදු කළ හැකි බව ය.

මේ නිසා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

තව ද මේ සම්බන්ධයෙන් වාර්තාවක් කාරක සභාවට ලබා දෙන ලෙස ද කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේ ය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මේ පිළිබඳ අනාවරණය විය.

මෙහිදී දූෂණ, වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳ අවධානය යොමු වූ අතර 2025 දෙසැම්බර් 31 දින වන විට අවසන් නොවූ මූලික විමර්ශන ප්‍රමාණය 1,538ක් පමණ වන බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

ඉන් මූල්‍ය වංචා 40කට අදාළව රු. 69,999,317 ක වටිනාකමැති විමර්ශන අවසන් කර නොතිබුණු බවත් මෙම විමර්ශන 2007 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාල පරාසයක් පැවති ඒවා බවත් මෙහිදී අනාවරණය විය.

මේ අනුව, පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ, විමර්ශන නිලධාරීන්ගේ හිඟයක් පවතින බවත් මේ නිසා විමර්ශන ප්‍රමාද වී ඇති බවත්ය.

එසේ ප්‍රමාද වුවද 2016 දෙසැම්බර් වන විට පැවැති විමර්ශන සංඛ්‍යාව 2,711ක් බවත් මේ වන විට එය 1,538 දක්වා අඩු වී ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.

එසේම ඇතැම් විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ කටයුතු පවතින බවත් මෙහිදී නිලධාරීහු පැවැසූහ.

මේ අනුව මේ සම්බන්ධව වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

එසේ ම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා 2015 වර්ෂයේදී ප්‍රකාශන පිටපත් 500ක් මුද්‍රණය කිරීම සඳහා රු. 2,697,300ක්ද, සිහිවටන පත්‍රිකා රඳවන සඳහා රු. 1,092,656ක්ද වියදම් කර තිබුණ ද 2025 නොවැම්බර් කරන ලද විගණන පරීක්ෂාවේදී මෙම ප්‍රකාශන අපේක්ෂිත පරිදි නිර්මාණය වී නොතිබීම හේතුවෙන් අලෙවි නොකර මුද්දර කාර්යාංශයේ ගබඩා කර ඇති බව අනාවරණය විය.

මේ අනුව මේ සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *