මේවා අපේ වැරදි… රත්තරන් දුවේ මට සමාවෙන්න…- සෙහන්සාගේ දේහය අසල විදුහල්පති හඬා වැටෙයි

තම උපන් දිනයදා විදුහලේ ජල කරාම සහිත අනාරක්‍ෂිත තාප්පයට යටවී අවාසනාවන්ත අන්දමින් මියගිය වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ 1 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සෙහන්සා නෙත්සරණි සිසුවියගේ දේහය අසල දණගසා වැඳ නමස්කාර කරමින් එම පාසලේ විදුහල්පතිවරයා පෙරේදා (18 දා) අවසන් ගෞරව දැක්වීය.

සෙහන්සා දියණියගේ නිවසට ගිය අපට මෙම සංවේදී දසුන දැකගත හැකි විය.

පෙරේදා උදෑසන සිටම ඇගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට පාසල් ගුරුවරුන්, මිතුරු මිතුරියන්, පවුලේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් වැළ නොකැඩී ඇදී ආහ.

ගම්මුන්ගෙන් පහරකෑම හේතුවෙන් විදුහල්පතිවරයාගේ දකුණු ඇසට හානි සිදුවීම නිසා එම දෑස ප්ලාස්ටරයකින් වසා තිබෙනු දක්නට ලැබිණි.

හැඬූ කඳුළින් මාධ්‍යයට අදහස් දැක්වූ වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයා මෙසේ පැවසීය.

පාසලේ තුන්මහල් ගොඩනැඟිල්ලේ මුදුනේ අනාරක්‍ෂිත මුදුන් උළු කැඩිලා තියෙන ආකාරය දැක්ක මට වතුර කරාම පද්ධතියේ අනාරක්‍ෂිත බව පෙනුණේ නැහැ. මම මේක සතියකට දෙතුන් පරාක් හෝදලා පිරිසිදු කරනවා. මේ සෙහන්සා දුවගේ ජීවිතය ආරක්‍ෂා කරන්න බැරිවෙච්චි එක මට දරාගන්න බැහැ. මේවා අපේ වැරදි. අනේ රත්තරං දුවේ මට සමාවෙන්න.

තම පාසලේ අනාරක්‍ෂිත භාවය ගැන රටටම පාඩමක් කියාදුන් පුංචි සෙහන්සාගේ අවසන් කටයුතු පෙරේදා විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *