මරාගෙන මැරෙන බෝම්බකරුවන් තවමත් නිදැල්ලේ,මහනුවර ලේ වැගිරිමේ අවදානමක් – උදය ගම්මන්පිල කියයි

Screenshot 2026 04 22 at 7.10.47 AM Iri News

පුහුණු කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුනරුත්ථාපනය නොකර තවමත් නිදැල්ලේ වෙසෙන බැවින් ඉදිරියේදී මහනුවර මහා ලේ වැගිරීමක් ඇතිවීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා විසින් රචිත “පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සොයා යාම” ග්‍රන්ථයේ පිටපත් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් වෙත ප්‍රධානය කිරීම සඳහා 21 දින මහනුවර පැමිණි අවස්ථාවේ ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය, මම මේ විදියට කියන්නේ කරුණු කාරණා රැසක් අධ්‍යනය කරලා ලබා ගත් තොරතුරු මතයි. අපරාධ විමර්ශන අංශය මගින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගෙන රඳවා සඟවාගෙන සිටින නව්ෆර්, රිස්කාර් හා මිල්හාන් කියන ත්‍රස්තවාදීන් අපරාධ විමර්ශන අංශයට ලබා දුන් ප්‍රකාශ ඉතාමත් රහසිගත ආකාරයෙන් ලබාගෙන ඒවා විමර්ශනය කොට ලබා ගත් නිගමනයන් අනුවයි මා මේ ප්‍රකාශය කරන්නේ. මේ අය කියලා තියෙනවා 2019 අගෝස්තු මාසයේ මහනුවර අවසන් රන්දෝලි ඇසළ පෙරහැරේ මරාගෙන මැරෙන බෝම්බ දෙකක් පුපුරවාගෙන දස දහසක් ඝාතනය කිරීමට සූදානම්ව සිටියත් යම් හේතූන් මත එය කල් ගිය බැවින් පාස්කු ප්‍රහාරය සිදු කළ බව මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයන් සහරාන් හා රිල්වාන් විසින් කරන්න සැලසුම් කළත් සාහරාන් පසුව එම වගකීම රිල්හාන්ට පවරලා තිබෙනවා. හැබැයි රිල්හාන් සයින්ද මරුන්දු ප්‍රහාරයේදී පුපුරවාගෙන මැරුණා.

නමුත් ලොකුම ප්‍රශ්නය මේක නෙවෙයි මේ සඟවාගෙන සිටින ත්‍රස්තයන් තිදෙනා ආරක්ෂක අංශ වෙත සඳහන් කර තිබෙනවා සහරාන් විසින් කඳවුරු 13 ක මරාගෙන මැරෙන ත්‍රස්තයන් 300 කට අධික පිරිසක් පුහුණු කළ බව. මේ අය තවමත් අත්අඩංගුවට අරගෙන පුනරුත්ථාපනය කරලා නෑ. රට පුරා නිදැල්ලේ සැරිසරනවා. දළදා පෙරහැරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරලා මිනිසුන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම සඳහා ඔලුව සකස් කළ මේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් තවමත් යහතින් රට පුරා ඉන්න නිසා ඉදිරි දළදා පෙරහරකදී මේ දේ නොවෙයි කියලා කාටවත් කියන්න බෑ. අපි බුද්ධි අංශවලට කියන්නේ මේ තොරතුර නිකම්ම අහක දාලා මහනුවර ලේ ගංගාවක් වෙනකන් බලා ඉන්නේ නැතුව අවධානය යොමු කරලා අවශ්‍ය පියවර ගන්න කියලයි.

සිරිල් ගාමිණී පියතුමාගේ භූමිකාව පිළිබඳව අපට විශාල සැකයක් තිබෙනවා. මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම යුද හමුදාවට හා සිංහල බෞද්ධයන්ට පවරා මෙතෙක් මේ රටේ සිංහල බෞද්ධයන් හා කතෝලිකයන් අතර පැවැති අන්‍යෝන්‍ය සබඳතාව බිඳ දැමීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවෙක් යන සැකය සිරිල් ගාමිණී පියතුමන් වෙත එල්ල වී තිබෙනවා. මම ලියලා තියෙන පොතේ එක දෙයක හෝ වැරැද්දක් තිබෙනවා නම් සිරිල් ගාමිණී පියතුමන්ට වගේම ඒ සම්බන්ධයෙන් කතා කරන ඕනෑම කෙනකුට මා සමග විවාදයකට එන්න කියලා මම අභියෝග කරනවා. බෙදුම්වාදී බලවේගවල අතකොළු වශයෙන් කටයුතු කරන අයටයි මම මේ අභියෝගය කරන්නේ. මෙම ප්‍රහාරයේ මහා මොළකරු සහරාන් බව ජාත්‍යන්තර පරීක්ෂණවලින් පවා හෙළිකොට තිබියදී රණවිරුවන් පවා අත්අඩංගුවට අරගෙන මේ කරන පාවාදීම් මේ පොතෙන් මම හෙළි කරලා තියෙනවා. මේ අයට මම නැවතත් අභියෝග කරනවා මාධ්‍ය ඉදිරියේ පාළු ගෙවල්වල වළං බිඳින්නේ නැතුව මා සමග විවාදයකට එන්න කියලා.

උදය ගම්මන්පිල මහතා විසින් මෙම ග්‍රන්ථය අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමිවරු හමුවේ පිළිගැන්වූ විය. මෙහිදී අදහස් පළ කළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමියෝ සඳහන් කළේ ලෝකවාසී බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාව, බෞද්ධ ජනයාගේ ගෞරවයට පාත්‍ර වූ ජයශ්‍රී මහ බෝධිය, අරන්තලාවේ මිලේච්ඡ භික්ෂු ඝාතනය වැනි සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව සිදුවූ මහා ත්‍රස්ත ප්‍රහාරයන්, ම්ලේච්ඡ ඝාතන සම්බන්ධයෙන් මේ දක්වාම කිසිදු ආකාරයක නීතියක් ක්‍රියාත්මක වී හෝ සාධාරණයක් ඉෂ්ටව නොමැති බවය.

‘Source : divaina – https://www.divaina.lk/main-news/73420

Leave a Reply

Your email address will not be published. Required fields are marked *