මෙරට ළමා පිළිකා රෝගීන් සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

ළමා පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (05 දා) පැවසීය.

මීට වසර කීපයකට පෙර වසරකට ළමා පිළිකා රෝගීන් 500 ක් වාර්තා වූවත් වසර දෙකක් තුළ ජනගහනයේ වැඩිවීමත් සමඟ වසරකට ළමා පිළිකා රෝගීන් 900 ක් පමණ වාර්තා වන බව ද, ළමා පිළිකා රෝගීන් අතරේ ලියුකේමියා, මොළයේ පිළිකා, ඇස්, වකුගඩු, අස්ථී, ස්නායු ළමා පිළිකා රෝගීන් සිටින බව ද හෙතෙම කියා සිටියේය.

පෙරේදාට (04 දාට) යෙදී තිබුණු ලෝක පිළිකා දිනය නිමිත්තෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා එසේ පැවසීය. දරුවන් මෙලෙස පිළිකාවට ගොදුරු වීමට අධික තරබාරුව, කෙටි ආහාර ගැනීම, පැණි බීම පානය, ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම සහ ටින් කෑමවලට ඇබ්බැහි වීම වඩාත්ම බලපා ඇතැයි ද ඒ මහතා කීය.

මෙම පිළිකා තත්ත්වයෙන් දරුවන් මුදාගැනීමට දරුවකු ඉපදී පළමු මාස 6 තුළ දී මව්කිරි පමණක් ලබාදීම ඉතා වැදගත් බව ද දරුවන් නොයෙක් ක්‍රියාකාරකම්වලට සහ ව්‍යායාම සඳහා යොමු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම දරුවන්ට එළවළු, පලතුරු ඇතුළු ස්වභාවික ආහාර ලබාදීම පිළිකාවෙන් මුදා ගැනීමට ඉතා වැදගත් බවද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *