මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනකුට එරෙහි පවරා ඇති නඩුව කොළඹ විජේරාම පාරේ අලුතින් ස්ථාපිත මහාධිකරණයේදී ඊයේ (04දා) විභාගයට ගැනිණි.
අධිකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින්, හිටපු ඇමැතිවරුන් පරිහරණය කළ නිල නිවාස කිහිපයක් මහාධිකරණ බවට පත් කෙරිණි. ඒ යටතේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැති ධුරයේ කටයුතු කළ සමයේ භාවිත කළ නිෙවස මහාධිකරණයක් බවට පත් කෙරුණු අතර, එහි විභාගයට ගත් දෙවැනි නඩුව මෙයයි.
එක්නැලිගොඩ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ සුජීව නිශ්ශංක මහතා, කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව පවරා ඇති බාල බෙහෙත් නඩුවේ විනිසුරුවරයකු ලෙස කටයුතු කරයි. එම නඩුව දිනපතා විභාගයට ගැනෙන බැවින් එක්නැලිගොඩ නඩුව විභාගයට ගැනීම අවස්ථා කිහිපයකදී කල්ගියේය.
මෙම නඩුවේ පූර්වගාමී විනිසුරුවරුන් වන මහේන් වීරමන් මහතා විශ්‍රාම ලැබූ අතර ආචාර්ය නාමල් බලල්ලේ මහතා වැඩ තහනමකට ලක් විය.
මේ හේතුව මත නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් නව විනිසුරු මඬුල්ලක් පත් කරන ලදි.
ඒ අනුව නයන සෙනවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහත්ම මහත්මීන් හමුවේ ඊයේ (04දා) නඩුව කැඳවිණි. පැමිණිල්ලේ 79 සහ 84 වැනි සාක්ෂිකරුවන් වන ඉන්දිකා සුරංගි හා ආර්.ඩී. ශානිකා විජේසිංහ යන අයට මීළඟ නඩු දින අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිතාසි නියම විය. නඩුව ලබන 8දා සිට සතිපතා විභාග වේ.
ඉකුත් 2010 වසරේ ජනවාරි මස 25දා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමඟ එක්ව රහසිගතව සිරකර තැබීමේ අරමුණින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම හා මරණය සිදුකිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 102 සමඟ කියවිය යුතු 356, 140, 146 සමඟ කියවිය යුතු 356, 356, 146, 359, 32, 102 හා 113 ආ සමඟ කියවිය යුතු 355, 32 සමඟ කියවිය යුතු 355 හා 32 සමග කියවිය යුතු 296 වගන්ති ප්‍රකාරව විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා 17ක් ගොනු කර ඇත.
නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී. උපසේන (සුරේෂ්), ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නව දෙනකු නම් කර තිබේ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා පැමිණිල්ල මෙහෙයවීය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ රසික බාලසූරිය ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටිති. නඩු විභාගය සිදුවන අවස්ථාව දැකබලා ගැනීමට අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන කිහිපයක නියෝජිතයෝ අධිකරණයට පැමිණ සිටියහ.