හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුව ජූනි 17 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ජූනි මස 17 වැනිදා ආරම්භ කරන බවත් නිවේදනය කළා.

එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා.

2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී පුද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් රජයට රුපියල් 8859708ක පාඩුවක් සිදුකිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මගින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *