ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග හා දුර ගමන් ප්රවාහන සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. මෙම බස් රථ මිල දී ගැනීමට අදාළ ප්රසම්පාදන ක්රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී එම්.ඒ.එන්. ධම්මික රත්න මහතා සඳහන් කළේය.
විශේෂයෙන්ම දීර්ඝ නිවාඩු සහ උත්සව සමයන්හිදී කොළඹ සිට තම ගම්බිම් බලා යන මගීන් මුහුණ දෙන ප්රවාහන දුෂ්කරතා සඳහා ස්ථිර විසඳුමක් ලබාදීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි. සැලසුම් කර ඇති පරිදි, ආනයනය කරන බස් රථවලින් බස් රථ 170ක් පමණ අධිවේගී මාර්ග පද්ධතිය තුළ ධාවනය සඳහා යෙදවීමට නියමිතය. ඉතිරි බස් රථ ප්රමාණය කොළඹ සිට දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ධාවනය වන දුර ගමන් සේවා සඳහා එක් කිරීමට කටයුතු යොදා ඇත.