වාහනය සීසර්ලා ඉස්සුවාට සිව්දරු පියා දිවි නසා ගනියි

රුපියල් ලක්ෂ පහක් දක්වා මුදලක් එකතු වන තෙක් ලීසින් වාරිකය ගෙවා ගැනීමට නොහැකිව සිටි පුද්ගලයකුගේ ත්‍රිරෝද රථය සීස් කළේ යැයි සිත්තැවුලට පත්වූ මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සිව්දරු පියකු සියදිවි නසාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

ලීසින් වාරික ගෙවිය යුතු නමුත් ඒ සඳහා මුදල් නැතැයි සිත්තැවුලට පත් වෙමින් මොහු මෙයට සති කිහිපයකට පෙර ද සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විදේශගත රැකියාවක නිරතව සිට පසුගිය දෙසැම්බර් මස දිවයිනට පැමිණ තිබේ. මොහු ණය ගෙවිය යුතු බව නිතර නිතර සිය මිතුරන් සමග පවසා ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සදික් සිද්ධික් මහතා විසින් සිදුකර තිබේ. ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සහ සාක්ෂි සැලකිල්ලට ගත් මහනුවර ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්.එම්.බී. විජේකෝන් මහතා මෙය සියදිවි නසා ගැනීමක් බවට තීරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *