ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගතව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යමින් පවතින පසුබිමක ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ලංකා සතොස වෙළෙඳසල් ජාලය මඟින් අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල අද (10) සිට පහත හෙළීමට තීරණය කර තිබේ. ඒ අනුව ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රටකජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය 18ක මිල අද සිට අඩු වේ.

පිටකොටුවේ තොග මිලටත් වඩා අඩු මිල ගණන්‍ යටතේ ජනතාවට මේ භාණ්ඩ ලබාදීමට රජයේ සිල්ලර අලෙවිසල් ජාලය වන ලංකා සතොස ආයතනය මේ අනුව පියවර ගෙන ඇත. එහි සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය මේ තීරණය ගනු ලැබුවේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. ආනයනික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යෑම සැලකිල්ලට ගෙන ජනතාවාදී රජයක් ලෙස ජනතාවට සහන සැලසීම සඳහා රජය සතු රාජ්‍ය යන්ත්‍රණය උපරිම අයුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *