අලුත් වාහනවලින් මෙරට විදුලි වාහන ලියාපදිංචිය 91%ක් දක්වා වේගයෙන් ඉහළට යයි

මෙරට මෝටර් රථ වෙළෙඳපොළ තුළ විදුලි වාහන සඳහා පවතින ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව HNB ස්ටොක් බ්‍රෝකර්ස් ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

එම වාර්තාවට අනුව, මේ වසරේ මැයි මාසය තුළ අලුතින් ලියාපදිංචි කරන ලද සමස්ත ‘බ්‍රෑන්ඩ් නිව්’ මෝටර් රථ 1,110 න් සියයට 91 ක්ම විදුලියෙන් ක්‍රියාත්මක වාහන වේ. 

ඊට සාපේක්ෂව සාම්ප්‍රදායික ඉන්ධන දහන එන්ජින් සහිත මෝටර් රථ ලියාපදිංචිය සියයට 9 ක ප්‍රතිශතයක් දක්වා පහත වැටී ඇත.

මැයි මාසයේ ලියාපදිංචි වූ මෙම විදුලි මෝටර් රථ අතරින් වැඩිම පංගුවක් BAW මාදිලියට අයත් වන අතර එම සංඛ්‍යාව 519 කි. ඊට අමතරව BYD මාදිලියේ මෝටර් රථ 436 ක් ද ලියාපදිංචි වී තිබේ.

තරගකාරී මිල ගණන් යටතේ විවිධ මාදිලියේ විදුලි වාහන වෙළෙඳපොළට හඳුන්වා දීම මෙම වර්ධනයට මූලිකම හේතුව වී ඇති බව එම ආයතනය පවසයි. 

මෝටර් රථවලට අමතරව, SUV රථ කාණ්ඩය තුළ ද විදුලි වාහන සඳහා වන පාරිභෝගික උනන්දුවෙහි කැපී පෙනෙන පිම්මක් නිරීක්ෂණය වේ.

මැයි මාසය තුළ ලියාපදිංචි කර ඇති සමස්ත ‘බ්‍රෑන්ඩ් නිව්’ SUV රථ 1,606 අතරින් විදුලි SUV රථ ප්‍රතිශතය සියයට 18 ක් දක්වා ඉහළ ගොස් ඇත. එය අප්‍රේල් මාසයේ පැවැති සියයට 6 ක ප්‍රතිශතයට සාපේක්ෂව ඉතා ඉහළ වර්ධනයකි. 

මෙහිදී විශේෂයෙන්ම BYD මාදිලියේ විදුලි SUV රථ ලියාපදිංචිය අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 87.7 ක ඉහළ යාමක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයකි. පාරිභෝගිකයන් ආකර්ෂණය වන පරිදි තරගකාරී මිල ගණන් යටතේ විදුලි SUV රථ වෙළෙඳපොළට පැමිණීම මීට සෘජුවම බලපා ඇත. 

කෙසේ වෙතත්, මැයි මාසයේ ලියාපදිංචි වූ සමස්ත SUV රථ අතරින් තවමත් වැඩිම ප්‍රතිශතයක් හිමිකරගෙන ඇත්තේ ඉන්ධන දහන එන්ජින් සහිත SUV රථයි. එම ප්‍රතිශතය සියයට 66 ක් වන අතර, හයිබ්‍රිඩ් (Hybrid) තාක්ෂණයෙන් ක්‍රියාත්මක SUV රථ ලියාපදිංචිය සියයට 16 ක් ලෙස සටහන්ව තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *