පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකරන විමර්ශනයට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
චැනල් ෆෝ වාර්තාවෙන් ඇරඹුණු විමර්ශනය
පෙත්සමේ සඳහන් වන ආකාරයට, මෙම විමර්ශනයට පදනම් වී ඇත්තේ 2024 ඔක්තෝබර් 11 වන දින සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රන්මුනි ජූඩ් වර්ණන් සිල්වා පියතුමා විසින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ විකාශය වූ කරුණු පදනම් කරගෙන සිදුකළ පැමිණිල්ලකි.
CIDය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ, පාස්කු ප්‍රහාරය සහ ඊට පෙර හා පසු සිදුවීම් “ප්‍රබල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්” බවට අතිශය සංවේදී කරුණු අනාවරණය වී ඇති බවයි.
CIDය අධිකරණයට දැක්වූ කරුණු
CID විශේෂ ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත්තේ:
- පුබාලපිල්ලේ ප්‍රශාන්තන්, කුමාරසාමි පුෂ්ප කුමාර්, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුමිත් ප්‍රසාද් රණසිංහ සහ අසාද් මවුලානා යන අයගේ ප්‍රකාශ මගින් මෙම කරුණු හෙළි වී ඇති බවයි.
- දැනට PTA යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරු වන තුවාන් සුරේෂ් සාලේ නමැත්තාගේ සැලසුම්ගත සම්බන්ධීකරණය මත මෙම ප්‍රහාර මාලාව සිදුවී ඇති බවටත්,
- ඊට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ප්‍රේම් ආනන්ද උදලාගම සහ රිසාන් ටිරෝෂාන් අන්සාර් යන අයගේ සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවයක් හෝ දැනුවත්භාවයක් පැවතිය හැකි බවට සාධාරණ සැකයක් මතුව ඇති බවත්ය.
මෙම පිරිස විමර්ශන මඟහරිමින් විදේශගත වීමේ අවදානමක් ඇති බව පවසමින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය සහ ආගමන විගමන පනත යටතේ ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙස CIDය ඉල්ලා තිබූ අතර, ඒ අනුව කොටුව මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇත.
ගෝඨාභයගේ පෙත්සමේ ඉල්ලීම්
මෙම පසුබිම මත ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, CID අධ්‍යක්ෂ ශානි අබේසේකර, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ:
- තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන තහනම් නියෝගයක්.
- පෙත්සම විභාග කර අවසන් වන තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක්.
- 2019 ජනාධිපති කොමිසම, බුද්ධි සම්බන්ධීකරණ කමිටු, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සහ චැනල් ෆෝ කමිටු වාර්තා අධිකරණයට කැඳවන ලෙසයි.
“මම සම්බන්ධ නෑ, ශානි අබේසේකර වෛරයෙන් වැඩ කරනවා”
පෙත්සම්කරු අවධාරණය කරන්නේ තමන් කිසිදු ආකාරයකින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවත්, ඕනෑම අවස්ථාවක ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට සූදානම් බවත්ය. විදේශ ගමන් තහනම ඉවත් කළද අධිකරණයට දැනුම් දීමකින් තොරව රටින් පිට නොවන බවට ඔහු ප්‍රතිඥාවක් ද ලබා දී ඇත.
තවද, CID අධ්‍යක්ෂ ශානි අබේසේකර තමන් කෙරෙහි වෛරයෙන් සහ ද්වේෂයෙන් කටයුතු කරන බවට චෝදනා කර ඇත. තමන් ජනාධිපතිව සිටියදී 2019දී ඔහුව ධුරයෙන් ඉවත් කළ බවත්, 2020 ජූලි 31 වන දින බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බවත්, දේශපාලන පළිගැනීම් කොමිසමෙන්ද නිර්දේශ ලබා දී තිබූ බවත් පෙත්සමේ සඳහන් වේ. එබැවින් ඔහු යටතේ අපක්ෂපාතී විමර්ශනයක් අපේක්ෂා කළ නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ තර්ක කරයි.
අවසන් වශයෙන්, අසාද් මවුලානාගේ 2023 සැප්තැම්බර් චැනල් ෆෝ ප්‍රකාශය හැර තමන්ට එරෙහිව වෙනත් සාක්ෂියක් නොමැති බවත්, FBI නිලධාරී ක්‍රිස්ටෝපර් ලෑන්ඩ්බර්ග් පවා නැවත විමර්ශනයක් අවශ්‍ය නැති බව දන්වා ඇති බවත් පවසමින්, තමන්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය නීතිවිරෝධී සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙත්සමෙන් ඉල්ලා ඇත.