වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින් රැසක් මේ වන විට නීතිය හමුවට පමුණුවා ඇති බවත් ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ පෙළේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
පසුගියදා පැවැති ජන හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ, වංචා සහ දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී රජය කිසිසේත් පසුබට නොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද සඳහන් කළේය:
“දැන් මේ අපි ආණ්ඩුව බලයට පත් වෙලා කීදෙනෙක් ගියාද ලොක්කෝ හිරේ. මහින්දානන්ද ගියා, කෙහෙළිය රඹුක්වැල්ල ගියා, සරණ ගියා, ශාන් ගියා, සලේට අත තියන්නෑ කිව්වා, සලේ ගත්තොත් බුද්ධි අංශ කැළඹෙයි කිව්වා. ඒක නිසා වැටෙයි කිව්වා ආණ්ඩුව. ඔය ගත්තේ. මුකුත් කැළඹිලා නැහැ. දැන් සලේ කැළඹිලා. කන්න නැහැ කිව්වා. කවලා හරි, පොවලා හරි, නීතිය රටේ ක්‍රියාත්මක වෙනවා. මේ රට හදන්න අපි බලය ගත්තේ. වෙන මොනවටවත් නෙමෙයි. කිසිම පුද්ගලික ගනුදෙනුවක් අපට නැහැ කාත් එක්කවත්.”
පසුගිය පාලන සමයන්හිදී විවිධ චෝදනාවලට ලක්වූ, නීතියට ඉහළින් සිටි බව කියන ප්‍රබල දේශපාලනඥයින් සහ නිලධාරීන් නීතියේ රැහැනට හසුකර ගැනීමට වත්මන් රජය සමත්ව ඇති බවත්, එමඟින් ජනතාව තුළ නීතිය කෙරෙහි වූ විශ්වාසය නැවත තහවුරු වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. කිසිදු පාර්ශවයක් සමඟ පුද්ගලික න්‍යාය පත්‍ර හෝ ගනුදෙනු නොමැතිව, රටේ පොදු යහපත සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් පමණක් රජය කැපවී සිටින බව හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.