යුද සමයේ අත්අඩංගුවට ගත් රත්රන් අයිතිකරුවන්ට ලබා දීමට මාස 3ක ක්‍රියාවලියක් ඇරඹෙයි

යුද සමයේදී එල්ටීටීඊ කඳවුරු හා ඒ අවට ප්‍රදේශවල ගබඩා කර තිබියදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මෙතෙක් අයිතිකරුවන්ට බෙදා දී නොමැති රත්රන් අධිකරණ ක්‍රියාවලියක් යටතේ නැවත ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

එම අධිකරණ ක්‍රියාවලිය ඉදිරි මාස තුනක් වැනි කාලයකදී අවසන් කර නැවත අයිතිකරුවන්ට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවද හෙතෙම කීවේය. නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මුලතිව් හා කිලිනොච්චි ප්‍රදේශවල සිදු කළ ක්‍රියාන්විතවලදී එල්ටීටීඊ කඳවුරු හා ඒ අවට ප්‍රදේශවල ගබඩා කර තිබූ රත්රන් කිලෝ 150ක් පමණ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එවකට අත්අඩංගුවට ගෙන තිබූ අතර, 2014 දී එවකට පැවැති රජය අනන්‍යතාව තහවුරු කරගත් පුද්ගලයන් 2015 දෙනකුට අදාළ රත්රන් නැවත ලබාදී ඇතැයිද හෙතෙම කීවේය. යුද හමුදාව විසින් කිසිදු අවස්ථාවක උතුරු, නැඟෙනහිර ජනතාවගේ රත්රන් (බලහත්කාරයෙන්) ලබාගෙන නැති බව කී ඒ මහතා, අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහභාගිත්වයෙන් මේ වන විට මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියාවලිය තව මාස තුනකින් නිම වීමට නියමිත බවද පැවසීය.

“මෙම සියලුම ස්වර්ණාභරණවල හිමිකරුවන් සම්බන්ධ සියලු තොරතුරු ශ්‍රී ලංකා යුද හමුදාව සතුව නැහැ. දැනට මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය සහ ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ඉදිරියට සිදු කිරීමට සකස් කර තිබෙනවා. මෙම රත්රන්වලට අදාළව කිසිදු පොරොන්දුවක් ජාතික ජන බලවේගයේ වේදිකාවලදී ප්‍රකාශ කර නැහැ. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් ඒ සම්බන්ධ කරුණු ඇතුළත් කර නැහැ” යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *