මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට රජයෙන් සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගලගෙදරින් අවසන් කළ ද අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.

‘දිට්වා’ හේතුවෙන් හානිවූ කොළඹ – මහනුවර උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද මෙම වසර අවසනයේ හෝ 2027 වසරේ පළමු මාස දෙක වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

කොළඹ – නුවර දුම්රිය මාර්ගයේ හානියට පත්වූ ඇතැම් ස්ථානවලට ප්‍රවේශ වීම පවා අපහසු බව ද අමාත්‍යවරයා පැවසීය. කෙසේ වුවද එම සියලු බාධක ජයගනිමින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා:

“පළමු වැනි කාරණය තමයි, ඒ දුම්රිය මාර්ගවල නඩත්තුව සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ ගෙනියන්න පුළුවන්කම තිබෙන්නෙත්, අපි මේ කතා කරන දුම්රිය මාර්ගයේ පමණයි. ඒවාට බඩු ගෙනියන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ.

මමත් ගිහිල්ලා බලනකොට දැක්කා, නානුඔය හා අඹේවෙල කොටසේ විශාල රක්ෂිත කැලයක් තිබෙන්නේ කියලා. ඒ එක්කම තියෙන්නේ කෝච්චි පාර විතරයි. ඒ නිසා අපිට සමහර තැන්වල කැලෑ කපාගෙන යන්න බැහැ. අතිවිශාල කඳු පද්ධති මැද්දේ තමයි මේවා තිබෙන්නේ. ඒ නිසා ඒකට ඇත්තටම වෙනත් උත්තරයක් නැහැ. ඒක එකක්.

දෙක තමයි, අපිට කෙසේ හෝ හැම තැනම එකපාර හදන්න බැහැ. අපි ඇත්තටම ජනවාරි මාසයේ සිට දුම්රිය දෙපාර්තමේන්තුව හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය එකතු වෙලා වැඩ කරනවා දැන් මාස හතරක් තිස්සේ. අපි හිතාගන්න බැරි තරම් විශාල පැකේජ් ප්‍රමාණයක් දීලයි තියෙන්නේ. නමුත් සමහර තැන් තියෙනවා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ඉතාම බරපතළ ලෙස නාය ගියපු තැන්. ඒවා NBRO එකටම පමණයි, ඉංජිනේරු සැලසුම් සහ ගොඩනැඟීම් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න දෙකම බලපා තිබෙනවා. සමහර තැන්වලදි අපි අතුරු මාර්ග හදාගෙනත් යනවා.

ගම්මුන්ගේ උදව්වෙන් අතුරු මාර්ග හදාගෙන ගිහිල්ලා අපි කෝච්චි පාර හදන්න ප්‍රවේශ මාර්ග සකස් කරමින් ඉන්නවා. ඒ වගේම ඒකේ එක උත්සාහයක් තමයි අපි එන්ජිම ගෙනාවේ, නුවර ස්ටේෂන් එකේ ඉඳලා පාරෙන්. ඉතින් මේ ඔක්කොම උත්සාහ දරන්නේ සාමාන්‍ය ක්‍රමයට වඩා ඉක්මනින් කරන්නයි.

සාමාන්‍ය ක්‍රමයට හැදුණා නම්, ඔබතුමා කියන එක හරි. ජීවිත කාලේ කොහොම වෙතත් සැලකිය යුතු කාලයක් යනවා. දැන් මට තේරුමක් ඇතුව කියන්න පුළුවන්කම තියෙන්නේ, අපි විශ්වාස කරනවා වත්තේගම – මාතලේ කොටස හැරුණහම, අනිත් සියලුම දුම්රිය මාර්ග කොටස් අපිට මේ වසර අග, නැත්නම් ලබන වසරේ ජනවාරි – පෙබරවාරි වෙන කොට හදන්න පුළුවන් වෙයි කියලා.

වත්තේගම සිට මාතලේ කොටසට පමණක් අපිට තව මාස හයක් වගේ කාලයක් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ පැහැදිලි කිරීම තමයි මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න තිබෙන්නේ. ඒ වගේම අපි දැනට මේ යෝජනාව කන්සිඩර් කර නැහැ. ගලගෙදරට අධිවේගී එක හදන ගමන් ගන්නෝරුවට හදන්න බලාගෙන. ගලගෙදර – කටුගස්තොට පාර පළල් කරනවා. මහයියාව උමඟ මේ වසරේ අග අවසන් කරනවා. විලියම් ගොපල්ලව මාවත හදනවා. පේරාදෙණිය පරණ පාලම අලුත්වැඩියා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *