බිරිය බෙදා ගන්න බැරිව පුතුගේ ගෙල කපා මැරූ පියා රිමාන්ඩ්

බිරිය බෙදා ගන්නට නොහැකිව මන්නා පිහියකින් තම පුතුගේ ගෙල කපා ඝාතනය කළැයි මුල්ලේරියාව පොලිසිය අත්අඩංගුවට ගත් 76 හැවිරිදි පියකු ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (11) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අංක 23/02, අඹතලේ අංගොඩ පදිංචි මකුල බැබිලගේ ජයසිංහ නමැත්තෙකි.මෙම සිද්ධියෙන් මරණයට පත්වූයේ චන්ද්‍රකීර්ති මුතුකුමාරණ නමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.මරණයට පත් පුද්ගලයාගේ පියා වන මෙම සැකකරු මරණකරුගේ බිරිඳ වන 32 හැවිරිදි කාන්තාව සමඟ වසර 10කට අධික කාලයක් තිස්සේ නුගේගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ නිවෙසක ජීවත් වන බවත් සැකකාර පියා සහ මරණකාර පුත්‍රයා අතර ඇතිවූ බහින්බස් වීමක ප්‍රතිඵලයක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වන බවත් මුල්ලේරියාව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මින් වසර 10කට පමණ පෙර අඹතලේ ප්‍රදේශයේ පිහිටි නිවසේ සැකකරුත් ඝාතනයට ලක්වූ පුත්‍රයාත් ඔහුගේ බිරිඳත් ඔවුන්ට දාව උපන් පිරිමි දරුවකුත් සමඟ ජීවත්ව ඇති බවත් එසේ සිටියදී සැකකරු සිය ලේලිය සමඟ පැවැත්වූ අනියම් සම්බන්ධය මරණකරුගේ අතට හසුවීම නිසා එම නිවසෙන් ඔවුන් දෙදෙනා පිටත්ව ගොස් තිබූ බවත් මුල්ලේරියාව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.එමෙන්ම ඝාතනයට ලක්වු අය ද වෙනත් විවාහයක් කරගෙන එම නිවසේ ජීවත් සිටියදී ඔවුන්ට දාව උපන් දස හැවිරිදි දියණීය සහ මරණකරු අතහැර එම කාන්තාව තවත් පුරුෂයකු සමඟ විදෙස් ගතවී ඇති බවත්, ඒ හේතුවෙන් නීත්‍යනුකුල විවාහක බිරිඳ හමුවීමට ගොස් ඇති මරණකරු නැවත තමා සමඟ ජීවත් වීමට එන ලෙසට ආරාධනා කර ඇති බවටත් කරුණු හෙළිවූ බව පොලිසිය අධිකරණයට කරුණු සදහන් කළේය.ඒ අනුව මරණකරු සහ ඔහුගේ බිරිඳ එළැඹෙන ආදරවන්තයින්ගේ දිනයේදී එනම් 14 වැනිදා අඹතලේ නිවසට පැමිණීමට සූදානම්ව සිට ඇති බවත් ඊට එරෙහිව වූ සැකකාර පියා මෙම ඝාතනය කළ බවට ප්‍රකාශ ලබාදුන් බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මරණකරු පේරගස්හන්දිය ප්‍රදේශයට ගොස් මුවහත් කඩුවක් රැගෙන විත් නිවසේ තබා ඇති බවත් ඔහුගේත් පැරණී බිරිඳගේත් එක්වීමට කවුරුන් හෝ අකුල් හෙළුවහොත් කපා දමන බවට මරණකරු සඳහන් කර ඇති බවත් ඒ අනුව තමන් ඉක්මන් වී තම පුත්‍රයාට මත්පැන් පොවා ඔහුගේම මන්නා පිහියෙන් බෙල්ල කැපූ බවට සැකකරු ප්‍රකාශ කර ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.මේ අතර, මෙම මරණකරුගේ දස හැවිරිදි දියනිය පරිවාස භාරයට පත් කරන ලෙසට ඉල්ලමින් මුල්ලේරියාව පොලීසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල් (11848) ජී. එස්. පී. කේ. අලුත්ගෙදර නිලධාරියා ඊයේ (12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ මෝසමක් ගොනු කළේය. ඒ අනුව අදාළ දැරිය පරිවාස භාරයට පත්කිරීමට අධිකරණය නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *