මෙගාවොට් 250 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවයි

ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම (National System Operator – NSO) විසින් දිවයින පුරා පිහිටි උපපොළවල් 25 ක මෙගාවොට් 250 ක (මෙගාවොට් පැය 1000 ක) ධාරිතාවයකින් යුත් ස්වාධීන බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (Battery Energy Storage System – BESS) සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් හිමිකාරිත්වය සහ ක්‍රියාත්මක කිරීම (Build, Own and Operate – BOO) යන පදනම මත වසර 15 ක බලශක්ති යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

මෙහි දී දිවයින පුරා තෝරාගත් විදුලිබල උපපොළවල් 25කදී මෙගාවොට් 10 සහ මෙගාවොට් 40 බැගින් වූ කොටස් යටතේ මෙම පද්ධති ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

සූර්ය හා සුළං බලශක්තියේ ඇති විභවතාවය කළමනාකරණය කරමින් විදුලිබල පද්ධතිය ස්ථාවර කිරිමටත්, උපරිම ඉල්ලුම පවතින කාල සීමාවන් පාලනය කිරිමටත් බැටරි තාක්ෂණය ඉතාමත් අවශ්‍යය බවයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පෙන්වාදෙන්නේ. 

වේගවත් සහ විශ්වාසදායක කාබන්හරණ ක්‍රියාදාමයන් රටේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගතියට මෙන්ම, සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කරගැනීමට අතිශය තීරණාත්මක සාධකයක් වන අතර, මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන බවත්, එය ගෝලීය ආයෝජකයින්ට ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය තහමුරු කිරීමට ඉවහල් වන පැහැදිලි සංඥාවක් බවයි පාරිසරික අංශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *