2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දේශපාලන හා ආර්ථික අර්බුදකාරී අවස්ථාවේදී රටේ නායකත්වය භාර ගැනීමට තමන් ප්‍රථම තේරීම නොවූ බවත්, අනෙකුත් නායකයන් එම වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී තමන් ඊට ඉදිරිපත් වූ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෑතකදී පැවැති උත්සවයකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා තමන් ජනාධිපති ධුරයට පත් වූ පසුබිම සිහිපත් කළ අතර, එම අවස්ථාව වන විට එක්සත් ජාතික පක්ෂයට (UNP) පාර්ලිමේන්තුවේ හිමිව තිබුණේ එක් අසනයක් පමණක් බව ද පෙන්වා දුන්නේය.
තමන් එම ධුරය සඳහා සමහර විට සිව්වැනි තේරීම වන්නට ඇති නමුත්, පවතින තත්ත්වය කළමනාකරණය කරමින් ඉදිරියට යාමටත්, ආර්ථිකය ස්ථාවර කර වැඩකටයුතු සාර්ථක කර ගැනීමටත් තමන්ට හැකියාව පවතින බව සිතූ නිසා එම අභියෝගය භාරගත් බව ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම භූමිකාව භාර ගැනීමට තමන්ට විශේෂ සූදානමක් අවශ්‍ය නොවූ බව ද හෙතෙම අවධාරණය කළේය.
යමෙකුට මෙවැනි වගකීමක් සඳහා ක්ෂණිකව සූදානම් විය නොහැකි බවත්, නිරන්තරයෙන්ම ඒ සඳහා සූදානමකින් සිටිය යුතු අතර අවස්ථාව පැමිණි විට එය භාර ගත යුතු බවත් පැවසූ වික්‍රමසිංහ මහතා, ඊට සූදානම් නැතිනම් දේශපාලන ක්ෂේත්රයේ රැඳී සිටීමෙන් පලක් නොමැති බව ද සඳහන් කළේය.
රට දැඩි අර්බුදයක පවතිද්දී වෙනත් කිසිදු දේශපාලන නායකයෙකු ඉදිරියට ඒමට අකමැති වූ පසුබිමක තමන් මෙම වගකීම භාරගත් බව පැහැදිලි කළ හිටපු ජනාධිපතිවරයා, එහිදී තම මූලිකම ප්‍රමුඛතාව වූයේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ රට කෙරෙහි විශ්වාසය නැවත ගොඩනැඟීම බවත්, ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාම සඳහා පාර්ලිමේන්තු සහාය උපයෝගී කරගත් බවත් වැඩිදුරටත් කියා සිටියේය.