කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්තුමියගේ සහභාගීත්වයෙන් ඊයේ(16) නව දිල්ලියේදී ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලන (FICCI) ව්‍යාපාරික වටමේස සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව සමඟ ඵලදායී අදහස් හුවමාරුවක නිරත වීමට ශ්‍රී ලංකා දූත පිරිසට අවස්ථාව උදා විය.
FICCI සභාපති ඩෙවින් නාරං (Devin Narang) මහතා සහ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සමාගම් නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී, ශ්‍රී ලංකාව තුළ ඔවුනට ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර සහ ඒවායේ පවතින විභවයන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගොඩනැගී ඇති දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කළේය. එසේම, රට තුළ දූෂණය සීඝ්‍රයෙන් පහත යමින් පවතින බවත්, එය විනිවිදභාවයෙන් යුත් සුරක්ෂිත ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
තවද, වත්මන් නව රජය විසින් දේශීය හා විදේශීය ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් වෙනුවෙන් සකස් කර ඇති ආයෝජන හිතකාමී පරිසරය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
විශේෂයෙන්ම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මීට පෙර ගතවූ කාලය මේ වන විට සැලකිය යුතු ලෙස අවම කර ඇති බව පෙන්වා දුන් එතුමා, ආයෝජකයින්ට පහසුවෙන් තම කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකසා ඇති බව පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ රජයේ නව ප්‍රතිපත්ති පිළිබඳව ඉන්දීය ආයෝජකයින්ට පැහැදිලි අවබෝධයක් ලබා දීමට මෙම සාකච්ඡාව බෙහෙවින් ඉවහල් වූ අතර, එය ඉදිරි ආයෝජනයන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා මූලික අඩිතාලමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.