රටේ මිනිස්සුන්ට බොන්නවත් සල්ලි නෑ – දරුවාගේ පෝෂණ මල්ල විකුණා පියා මිතුරන්ට බොන්න දෙයි

හේ ගාල්ලට නුදුරු නියම්ගමක පදිංචිකරුවෙකි. පෞද්ගලික අංශයේ රැකියාව කරන අතර හොඳම බොනපාට් කෙනෙකි. 
තම මවුපියන්ගේ බලකිරීම මත විවාහයක් කරගත් අතර කලක් ගතවද්දී බිරියට දරුවකුද ලැබුණි. ඒ හේතුවෙන් මෙම බොනපාට් මත්පැන් පානය කිරීමද යම්තාක් දුරට අඩුකර ගත්තේ සිය බිරියගේ පෙරැත්තය මතය. 
කෙසේ නමුත් එක්තරා දිනක හැන්දෑවක මෙම පුද්ගලයා මුණගැසීමට  මිතුරන් දෙදෙනෙක් නිවෙසට පැමිණියහ. තමුන් මත්පැන් පානය කිරීම නවතා ඇති බව ඔහුට අමතක විය. මිතුරන්ට සංග්‍රහ කිරීමට තරම් මුදලක්ද තම අත නොවන බව ඔහුට වැටහිණි.
මේ අවස්ථාවේ මෙම බොනපාට්ට එක් දෙයක් සිහියට නැගුණි. එනම් තම බිලිඳාගේ පෝෂණය සඳහා රජයෙන් ලබාදෙනු ලබන පෝෂණ මල්ලේ මුදල් ගෙදර තිබෙන බවයි.
මෙම මුදලින් තම මිතුරන්ට සංග්‍රහ කිරීමට හෙතෙම අදිටන් කර ගත්තේය. තම බිරියට හොරෙන් මෙම පෝෂණ මල්ලේ මුදල්ගෙන කෙළින්ම පිය නැගුවේ තම නිවෙසට ටිකක් දුරින් පිහිටි අවන්හල වෙතය. පෝෂණ මල්ලේ මුදලින් බයිට් තුනක් සහ අවශ්‍ය මත්පැන් ලබාගත් මෙම බොනපාට් නිවෙසට ගොස් තම මිතුරන් හා සප්පායම් වෙමින් විනෝද විය.


පසුදා පහන්විය. තම බිලිඳාට රජයෙන් ලබාදුන් පෝෂණ මල්ලේ මුදල් ගැන මෙම බොනපාට්ගේ බිරියට සිහියට ආවේය.
පසුව එයින් බිලිඳාට අවශ්‍ය ආහාර ලබාගෙන ඒමට සිය නැන්දම්මාට මෙම මුදල් තබා තිබූ තැන කීවාය. එම ස්ථානය පිරික්සූ නැන්දම්මා මෙම බොනපාට්ගේ බිරියට පවසා ඇත්තේ එම මුදල් නොමැති බවයි.
මේ ගැන බිරිය සිය සැමියාගෙන් විමසීමට සිතාගෙන පැමිණි විට බොනපාට්ට තමන් මිතුරන්ට සංග්‍රහයට බයිට් සහ මත්පැන් ගෙනා බව බිරියට පැවසීමට නොහැකිව හීන් දාඩිය දමා හෙමින් සීරුවේ නිවෙසින් බැහැරවිය. 
කෙසේ වෙතත් මුදල් නොමැතිව සිටි සිය සැමියා තම දරුවාගේ පෝෂණ මල්ලේ මුදලින් මිතුරනට සංග්‍රහ කර ඇති බව වටහා ගැනීමට වැඩි වේලාවක් ගතනොවීය. අනේ කාලේ වනේ වාසේ යැයි කියමින් මෙම කාන්තාව තම සැමියා ගැන කලකිරීමෙන් යුතුව බිලිඳාට මව්කිරි පොවනවා යැයි සිතා කාමරයට පියමං කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *