විෂ රසායනික යොදා පලතුරු ඉදවීමේ ක්‍රමවේද නියාමනය කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. විෂ රසායනික යොදා පලතුරු ඉදවීම වැළැක්වීම අරමුණු කරගනිමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේදී ඊයේ (20) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
දීර්ඝ කාලයක් තිස්සේ විෂ රසායනික යොදා ඉදවන පලතුරු, ආහාරයට ගැනීමෙන් මිනිස් සෞඛ්‍යයට වන බලපෑම පිළිබඳ නිසි පර්යේෂණ පවා නොමැති හෙයින් ඒ සඳහා දැඩි නීතිමය තීන්දු තීරණවලට එළැඹීමේ අවශ්‍යතාවක් ඇතැයි ද ඇමතිවරයා කීවේය. විවිධ රසායනික යොදා අවිධිමත් ලෙස කෙසෙල්, අඹ, ගස්ලබු හා අලිපේර වැනි පලතුරු ඉදවා වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බවද පැවසුවේය.
පලතුරු ඉදවීම සඳහා විෂ රසායනික යෙදීම වහා නතර කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් මෙම සාකච්ඡාවේදී විමසා බැලිණි.
ඒ සඳහා දැනට පවතින නීතිමය තත්ත්වයන් හා එම නීති බලාත්මක කිරීමට ඇති බාධා මොනවාද යන්න පිළිබඳවද එහිදී සොයාබලන ලදී. ඒ සඳහා පාරිභෝගික පනත සංශෝධනය කළ යුතු නම් ඒ පිළිබඳ සලකා බැලිය හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
ආර්ථික කෘෂි කර්මාන්තය තුළ කෘත්‍රිම පලතුරු ඉදවීම යම්තාක් දුරකට භාවිත කිරීමට සිදු වන බව පැහැදිලි කළ කෘෂි පර්යේෂණ නිලධාරීන් ජාත්‍යන්තර වශයෙන් එවැනි ක්‍රමවේද විද්‍යාත්මක පදනමක් මත භාවිත කෙරෙන බව පෙන්වා දෙන ලදි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේද මත පදනම්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පලතුරු ඉදවීම සඳහා පුහුණුව හා තාක්ෂණික දැනුම ලබා දෙන බවත්, එම විද්‍යාත්මක ක්‍රමවේද නිසි ලෙස භාවිත නොකර, පහසු කෘත්‍රිම පලතුරු ඉදවීමේ ක්‍රමවේදයන්ට බොහෝ වෙළෙඳුන් හා පලතුරු නිෂ්පාදකයන් පුරුදු වී සිටින බවත් සඳහන් කෙරිණ.