අගමැති හරිනි අමරසූරිය මෙණෙවිය විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකට එරෙහිව පවරා ඇති අපහාස නඩුවේ පූර්ව නඩු විභාගය ලබන අගෝස්තු 18දා දක්වා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය ඊයේ (20දා) තීරණය කළේය.
වගඋත්තරකරුගේ පාර්ශ්වය අධිකරණය හරහා පැමිණිලි පාර්ශ්වයට ලබාදිය යුතු ‘විචාරණ’ ලබාදී නොතිබීම නිසා පූර්ව නඩු විභාගය සඳහා වෙනත් දිනයක් නියම විය.
ඒ අනුව මීළඟ නඩු දින වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර ඇති මෙම විචාරණ ලේඛන සඳහා පැමිණිලි පාර්ශ්වයෙන් පිළිතුරු ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉකුත් ජනාධිපතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා මාවනැල්ලේ පැවැති මහජන රැලියකදී වගඋත්තරකරු 2024 අගෝස්තු 19දා මෙම ප්‍රකාශ සිදුකර තිබේ.
මහනුවර ඇසළ පෙරහර නවත්වන බවට අසත්‍යය හා අපහාසාත්මක තොරතුරක් සමාජගත කිරීමෙන් බෞද්ධ පරිසරයක කුඩා කල සිටම හැදී වැඩුණු සිය සේවාදායිකාවගේ කීර්තිනාමයට බලවත් හානියක් සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. දකුණු ප්‍රදේශයේ බොහෝ විහාරස්ථානවලට ඉඩකඩම් පරිත්‍යාග කළ පවුලකින් පැවත එන සිය සේවාදායිකාව කිසිදු අවස්ථාවක මොනයම් හෝ ආගමකට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කර නොමැති බවත් ලේඛනගත නීතිඥ ශානිකා සිල්වා මහත්මිය ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම ප්‍රකාශය කළ තිස්ස අත්තනායකට විරුද්ධව හා එය විකාශය කළ පෞද්ගලික මාධ්‍ය නාළිකාවකට එරෙහිව රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා මෙම නඩුව පවරා තිබේ. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය.