ශ්‍රී ලාංකිකයින් 250,000 කට 2026 වර්ෂයේ විදේශ රැකියා අවස්ථා ලබාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා රජය මගින් සහ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන හරහා මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් වෙත ලබාදීමට කටයුතු කෙරෙයි.
ඒ අනුව වසරේ ගතවූ කාලය තුළ ලාංකිකයින් 143,087 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 92,590 කි. මෙම කාලය තුළ කාන්තා ශ්‍රමිකයින් 50,497 දෙනෙකුද රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
මේ දිනවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අතර වඩාත් ප්‍රචලිත ගමනාන්තයක් වන ඊශ්‍රායල් රාජ්‍ය සඳහා ශ්‍රමිකයින් 14,000 දෙනෙකු යොමුකිරීමට කාර්යාංශය සැලසුම් කර ඇති අතර, මේ වන විට ඉන් ශ්‍රමිකයින් 7,873 දෙනෙකු ඊශ්‍රායල් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
එසේම දකුණු කොරියාව සඳහා ශ්‍රමිකයින් 8,000 දෙනෙකු යොමුකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඉන් 4,794 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
එසේම නිපුණතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් 73,623 දෙනෙකු 2026 වසරේ ගතවූ කාලය තුළදී විදේශ ගතවී ඇත. නුපුහුණු කාණ්ඩයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 69,494 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව කාර්යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස 6ක කාලය තුළදී විදේශ ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක මුදලක් මෙරටට ප්‍රේෂණය කර තිබේ.