මෙට්‍රෝ බස් කර්මාන්තය පෞද්ගලික අංශයටත් විවෘත කරයි

2032 – 2035 කාලය තුළ ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නාගරික ප්‍රවාහනය මෙට්‍රෝ බස් රථ මඟින් සිදු කිරීමට සැලසුම් කර ඇතැයිද ඊට සම්බන්ධ වීමට පෞද්ගලික අංශයටද අවස්ථාව ඇතැයිද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ නංවන බවත්, 2027 වසර වන විට එම බස් රථ ප්‍රමාණය 272ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

රජයේ සැලසුම වන්නේ මෙට්‍රෝ බස් රථ 500ක සීමාවට යෑම බව කී ඒ මහතා, ඉදිරියේදී පෞද්ගලික අංශයටත්, නගර සභාවලටත්, සමුපකාරවලටත් මෙම කර්මාන්තයට පැමිණීම සඳහා ආරාධනා කරන බවද කීවේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (29) රාත්‍රියේ මෙරටට ගෙන්වන ලද මෙට්‍රෝ බස් රථ 104 සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.

චීනයේ සිට ගෙන්වන ලද මෙට්‍රෝ බස් රථ 104 ඊයේ (30) දහවල් වන විට වරාය පර්යන්තය වෙත ගොඩබා තිබිණි.

2025 අය-වැය යෝජනා අනුව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ හඳුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් TOP GRACE නෞකාව පෙරේදා (29) පස්වරු 5.30ට පමණ කොළඹ වරාය වෙත ළඟා විය.

මෙම බස් රථ සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගර ප්‍රදේශය තුළ ධාවනය සඳහා එක්කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *