හිටපු අමාත්‍ය ජොන්ස්නට් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබුණු නඩු හතක් යළි ඇසීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.
මේ බව අද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කරන ලද්දේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසිනි.
අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබුණු මෙම නඩු හත, කොළඹ මහාධිකරණය, 2023 වසරේ ජූනි මාසයේ 19 වන දා ප්‍රතික්ෂේප කර තිබුණේ, අදාල නඩු ගොනු කිරීමේ දී, අල්ලස් කොමිසමේ එක් කොමසාරිස්වරයෙකු ඊට අත්සන් තබා නැති බව කියමිනි.
මහාධිකරණ තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසම, අභියාචනාධිකරණයට ගොස් තිබුණු අතර, අභියාචනාධිකරණය අද නියෝග කලේ එම නඩු යළි අසන ලෙසයි.
මේ බව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරමින්, සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට ජයවේවා යැයි පැවසී ය.
ඉන් නොනැවතී ඔහු අත්පුඩියක් ද ගැසුවේ ය.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම හැසිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් දැඩිව විවේචනය කරන ලදී.
පාර්ලිමේන්තුව තුළ මෙවැනි සිදුවීම් දක්නට ලැබීම තමන්ට හිතා ගැනීමටවත් බැරි දෙයක් යැයි පැවසූ මන්ත්‍රීවරයා අධිකරණයට බලපෑම් කිරීම යනු මේ යැයි වැඩිදුරටත් පැවසී ය.