වසර 15ක් වසා දැමූ ජාතික කලා භවන මේ වසරේ යළි විවෘත කරයි

වසර 15කට අධික කාලයක් වසා දමා ඇති ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සක්‍රීයව සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, 2011 වසරේදී ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජාතික කලාභවන වසා දැමූ අතර, විවිධ හේතු සහ ගැටලු හේතුවෙන් එම කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ අතරමඟ නතර වී තිබූ බවයි.

කෙසේ වෙතත්, නව රජය බලයට පත්වීමෙන් අනතුරුව මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු යළි සක්‍රීය කර ඇති බවත් ඔහු පැවසුවා.

ජාතික කලාභවන මෙරට කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයේ වැදගත්ම මධ්‍යස්ථානයක් වන බැවින්, එය දීර්ඝ කාලයක් වසා තැබීම ජාතියේ අවාසනාවක් බවද කීර්ති වැලිසරගේ මහතා පෙන්වා දුන්නා.

ප්‍රතිසංස්කරණ කටයුතු මෙතරම් කාලයක් ප්‍රමාද වීමට හේතුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඒ පිළිබඳව වංචා හෝ අක්‍රමිකතා සිදුවූ බවට මේ මොහොතේ සඳහන් කළ නොහැකි බවයි.

විවිධ රජයන් යටතේ වසර ගණනාවක් පුරා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම වෙනුවට එක් ස්ථානයක සිරවී තිබීමට විවිධ සංකීර්ණ හේතු බලපා ඇති බවත්, භූමියේ සහ පරිසරයේ වෙනස්කම් ඇතුළු කරුණු ඊට බලපාන්නට ඇති බවත් ඔහු සඳහන් කළා.

එම ගැටලු නිරාකරණය කරමින් අදාළ පාර්ශ්වයන් එක්කරගෙන මේ වන විට ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යාමට හැකිවී ඇති බවද ඔහු පැවසුවා.

ඒ අනුව, ඉදිකිරීම් කටයුතු මේ වසර තුළ අවසන් කර, ඉදිරි මාස කිහිපය තුළ ජාතික කලාභවන යළි මහජනතාවට විවෘත කිරීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *