යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම විරෝධය සහ ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම සඳහා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ නියෝජිතයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (08) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් බැහැ දැක තිබෙනවා.
එහිදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ඇතුළු කරුණු ඇතුළත් යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහනායක හිමියන්ගේ ස්ථාවරය පිළිබඳව සිවිල් සංවිධාන නියෝජිතයන් විමසා ඇති අතර,
එම අවස්ථාවේදී මහනායක හිමියන් සඳහන් කර ඇත්තේ, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ නොකරන බවයි.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් මහනායක හිමියන් බැහැ දැක අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකළ බව උන්වහන්සේලා සඳහන් කළ බව වාර්තා වනවා.
ඉහළ අධිකරණවල මෙන්ම පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම යහපත් කරුණක් බවද මහනායක හිමියන් එහිදී පිළිගෙන තිබෙන බව සඳහන්.
එමෙන්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් සලකා බලන අතරතුර, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙස මහනායක හිමියන් අමාත්‍යවරුන් දෙදෙනාගෙන් ඉල්ලා ඇති බවත් සඳහන්.