හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛනය තවත් අඩු කරමින් මහනුවර රෝහලට මිලියන 250 හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකයක් ස්ථාපිත කරයි

මහනුවර ජාතික රෝහලට රුපියල් මිලියන 620ක වටිනාකමකින් යුත් අතිනවීන වෛද්‍ය උපකරණ පද්ධති 3ක් නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම අද (15) සිදු කෙරුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අලුතින් පිහිටුවන ලද නවීනතම තාක්ෂණයෙන් යුතු හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකය (රු.මි. 250), මැමෝග්‍රැෆි අංශය (රු.මි. 180) හා සීටී පරීක්ෂණ අංශය (රු.මි. 190) මෙලෙස ජනතා අයිතියට පත් කෙරුණා.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදී තිබුණා.

මහනුවර ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා සඳහා එක්වූ දෙවන සීටී ස්කෑන් යන්ත්‍රය මෙය වන අතර, හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකක ද එම රෝහලට ලැබුණු දෙවන හෘද කැතීටර්කරණ රසායනාගාරය වනවා.

එමෙන්ම මෙරට තිබෙන ඉහළම නවීන තාක්ෂණය සහිත මැමෝග්‍රැෆි යන්ත්‍ර 5න් එකක්ද අද දින මෙම රෝහලේ ස්ථාපිත කරනු ලැබුවා.

වැඩිම පොරොත්තු ලේඛණයක් සහිත මහනුවර ජාතික රෝහලේ මේ වනවිට රු. මිලියන 8,000ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී කියා සිටියා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත පිළිකා රෝග ඒකකය, හදිසි අනතුරු ඒකකය ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් එම ව්‍යාපෘති සිදු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

හෘද කැතීටර්කරණ ඒකක (Cath Labs) 16ක් මෙම වසර තුළ මෙරට රෝහල් පද්ධතිය තුළ ස්ථාපිතකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත්, ඒ යටතේ මහනුවර ජාතික රෝහලේ නව හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකකය ස්ථාපිත කෙරුණු බවත් ද අමාත්‍යවරයා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *