තමන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටින බවත්, පොලිස් සේවයට එක්වන විටම ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම්ව පැමිණි බැවින් තමන් කිසිදු දේකට බිය නොවන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.
කිසිදු ආරක්ෂාවක් නොමැතිව වුවද රටේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ගමන් කිරීමට තමන්ට පූර්ණ විශ්වාසයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, අදාළ ප්‍රකාශය සිදුකළ දේශපාලනඥයාට එලෙස ගමන් කිරීමට නොහැකි වනු ඇතැයි සඳහන් කළ පොලිස්පතිවරයා, ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ ඔවුන් සමාජයට විශාල විනාශයක් සිදුකරමින්, අසත්‍ය පවසමින් සහ අසාධාරණකම් සිදුකර තිබීමයි.
එසේ වුවද තමන් කිසිවිටෙකත් එවැනි ක්‍රියාවන් සිදුකර නොමැති බව පොලිස්පතිවරයා අවධාරණය කළා.
විදේශයන්හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 73 දෙනෙකු පමණ මෙරටට ගෙන්වා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ඒ සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළා.
තවත් අපරාධකරුවන් 100 කට ආසන්න ප්‍රමාණයක් විදේශයන්හි රැඳී සිටින බවට විශ්වාස කරන බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් ඉතා යහපත් ජාත්‍යන්තර සහයෝගයක් පොලිසියට ලැබෙමින් පවතින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියා.